අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර අද (05) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විමට නියමිතයි.

අද ආරම්භ වන එම සමුළුවට සහභාගි වන ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇති බවයි ග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කර ගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙන අතර රාජ්‍ය හා ආණ්ඩු නායකයන් ,අමාත්‍යවරුන්, ව්‍යවසායකයන් සහ සිවිල් නායකයන් මේ සඳහා සහභාගී වීමට නියමිතය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා ඊයේ(4) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෝධි පුජා පින්කමක් ද පැවැත්වුනා.

බෝධි පූජා පින්කම එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තිය වේදින්ගේ සංගමය මගින් සංවිධාන කර තිබූ අතර රවි කරුණානායක, සාගල රත්නායක, ජයවික්‍රම පෙරේරා ඇතුළු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.