සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද අළුයම 1.10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් S.Q 469 දරණ ගුවන්යානයෙන් අග්‍රාමාත්‍ය ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බව ගුවන්තොටුපළ අප වාර්තාකරු පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන පරිදි”ඉන්දීය පදනම”විසින් සංවිධානය කරනු ලබන 2016 ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය සඳහා සහභාගීවීමට අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි.

ඉන්දීය පදනම සමග එක්ව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, බංගලාදේශයේ ජාත්‍යන්තර උපාය මාර්ග ආයතනය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස්.රාජරත්නම් ආයතනය මෙම සමුළුව සංවිධානය කර තිබේ.

මෙම සමුළුවට ඉන්දීය සාගර කලාපයේ සිටින ප්‍රධානතම රාජ්‍යයන්ට ආරාධනා කර ඇති අතර කලාපයට බලපාන ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික හා පාරිසරික ගැටලු පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇත.

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය ඇතුළු රටවල් රැසක දේශපාලනඥයින් විද්වතුන්, විශේෂඥයින් ඇතුළු විශාල පිරිසක් ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද අලුයම 1.00ට පමණ හිටපු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මලයාසියානු සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපළ වාර්තාකරු පවසයි.

හිටපු ජනාධිපතිවරයා අද සිට දින 05ක කාලයක් එරට රැදී සිටීමට නියමිත අතර එහිදී මලයාසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා සමග දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

සම්මේලනය අතරතුර ආසියානු දේශපාලන පක්ෂ සහ මලයාසියානු දේශපාලන ප්‍රජාව සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස සාකච්ඡා පවත්වන අතර හිටපු ජනාධිපතිවරයා මලයාසියානු අග්‍රාමාත්‍යයවරයා හමුවීමට ද නියමිතව තිබේ.

LEAVE A REPLY