අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ සඳහා වූ පනතක් ගෙනඒමට ජාත්‍යන්තරය බලපෑමක් කර නැති බව පා.ම කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඔහු පැවසුවේ මෙම පනත ගෙනඒමට ජාත්‍යන්තරයෙන් බලපෑමක් එල්ල නොවූ බවත්, එවැන්නක් ගෙනඒමට ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තරයට බලපෑමක් එල්ල වූ බවයි.

යුද්ධයෙන් පසු එල්ලවන චෝදනාවලට රජයක් ලෙස තනිව පිළිතුරු සෙවීමට නොහැකි නිසා අපට උදව් කරන්නැයි රජය විසින් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එය හැඳින්විය හැකි බව මන්ත්‍රීවරයා පැවසීය.

තම රටේ සිදුවූ දේවල් ගැන සෙවීමට නොහැකි කාලකන්නිකමක් ලෙස මෙය සැලකිය හැකි බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මැක්ස්වෙල් පරණගම වාර්තාවෙන් අතුරුදන්වීම් සම්බන්ධයෙන් පැමිණිලි 20,000ක් ගැන සඳහන්ව ඇති නමුත් ලැබී ඇති පැමිණිලි ගණන 65,000ක් බව විදේශ ඇමතිවරයා විසින් පවසා ඇති බවත්, මන්ත්‍රීවරයා කීවේය.

එසේම ජවිපෙ මෙම පනතට සහය දුන්නේ ඔවුන්ගේ සාමාජිකයින් හාරසියක – පන්සියකගේ අතුරුදන්වීම් ගැන සෙවීමට යැයි පවසා ඇති නමුත් පනතේ සඳහන්ව ඇත්තේ මෑතක සිදුවූ අතුරුදන්වීම් ගැන නිසා බැවින් 88/89 කාලයේ සිදුවූ දෑ මෙන්ම රෝහණ විජේවීර ගැනද සෙවීමට ඒ අනූව කාලයක් නොලැබෙනු ඇතැයි ද ඒ වන විට අප කිසිවෙක් ජීවතුන් අතර  නැතිවනු ඇති බවද, හෙතෙම වැඩිදුරටත් පැවසීය.