අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් මෙරට ආරක්ෂක අංශවලට කිසිදු තර්ජනයක් කළ නොහැකි බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මෙය අධිකරණ යාන්ත්‍රණයක් නොවන බවත්, අතුරුදන් වූවන් ගැන සොයාබැලීමට අදාළව එහි කටයුතු සිදුවනවා හැර ඉන් දඬුවම් කිරීමක් සිදුනොවන බව ඒ මහතා කියයි.

පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ  බව පැවසීය.

කෙසේ වෙතත් එම පනත සම්මත කර ගත් ආකාරය පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී අදහස් දැක්වූ පා.ම විමල් වීරවංශ මහතා පැවසුවේ යුද්ධය ජය ගැනීමට දායක වූ රණවිරුවන් දඩයම් කිරීමක් මෙමඟින් සිදුවන බවයි.

මේ අතර  පාර්ලිමේන්තුවේදී   අද සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දෙමළ ඩයස්පෝරාව, බෙදුම්වාදීන් ඇතුළු මෙරට අස්ථාවර කිරීමට ක්‍රියාකරන කණ්ඩායම්වල අවශ්‍යතාවයක් බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියන්ද මාධ්‍ය හමුවක් පවත්වමින් අද කියා සිටියේය.

 

LEAVE A REPLY