බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා.

අද කෝටි නව ලක්ෂයක් ණය බරකින් අපේ රට පෙළෙන බව ප්‍රකශ කළ ජනාධිපතිතුමා පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමීමේ අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත්තේ නව රජයට බවද කියා සිටියේය.

වරක් ජනාධිපති ධුරයේ කටයුතු කර නැවත ආණ්ඩුවක් ඉල්ලා දෙපතුල් වල දියපට්ට එන තුරු ඇවිදීමට තමාට අවශ්‍ය නොවන බවද මෙහිදී පැවසු ජනාධිපතිතුමා සිය ධූර කාලය තුල තම වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බවද අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29)පෙරවරුවේ මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.