“අපි අවුරුදු 11ක්ම රාජපක්ෂවරුන්ට තමයි කඩේ ගියේ. 2010න් පස්සේ අපිව කොන්කරලා දැම්මා” බස්නාහිර මහඇමති ඉසුරු දේවප්‍රිය මහතා අද (30) පැවසීය.

බස්නාහිර පළාත් සභාවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ 2010 මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂය වෙනුවෙන් වැඩ කළ පිරිස අමතක වූ බවයි.

බැසිල් ඇතුළු හෙංචයින් පිරිසක් ළංකර ගනිමින්, එජාපයෙන් පැමිණි මන්ත්‍රීවරුන්ට හොඳ ඇමතිකම් දෙමින්, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් නොසලකා හැරි බව ඒ මහතා එහිදී පෙන්වාදුන්නේය.

දැන් පා ගමන් යමින් ශ්‍රීලනිපය දෙකඩ කරමින් සිටින මහින්ද රාජපක්ෂගෙන් තමන්ට ඇසීමට ඇත්තේද “දැන් මහින්දට සතුටුයිද? කියා බව ද ඒ මහතා  කියා සිටියේය.

මේ අතර නව ව්‍යවස්ථා සංශෝධනයෙන් බුද්ධාගමට හිමිතැන කිසිදු ලෙසකින්වත් නැති නොවන බවත්, අගමැතිවරයාගෙන් ද ජනාධිපතිවරයාගෙන්ද තමන් ඒ ගැන විමසා සිටි බවත්, ඔවුන් එවැනි කිසිවක් බුද්ධාගම සම්බන්ධයෙන් සිදුනොවන බවට පැවසූ බවද ඉසුරු දේවප්‍රිය මහතා පැවසීය.

එසේම සමලිංගික අයිතිය ලබාදෙන බවට නව ව්‍යවස්ථාවෙන් කිසිදු සඳහනක් කර නොමැති බවද පැවසූ ඒ මහතා ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ දිනේෂ් ගුණවර්ධන  මහතා ද සිටින බවත්,  හරස් ප්‍රශ්න අසමින් ඔහුට ඇති ගැටළු නිරාකරණය කරගෙන ඇති බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ අනූව නව ව්‍යවස්ථාවෙන් අකටයුතුකම් රැසක් සිදුවන බවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජනතාව මූලා කිරීමට පිරිසක් ක්‍රියාකරගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY