පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා දුරකථන ඇමතුම් ලබාදීම හරහා බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කර ඇති බව අද එම කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

එම දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලන ලෙස බැදුම්කර කොමිසම, වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

ද්විතියික වෙළෙඳ පොළේ බැඳුම්කර ගනුදෙනු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදලේ අතරමැදියෙකු ලෙස පෑන් ඒෂියා බැංකුව කටයුතු කර ඇති බව පසුගියදා බැඳුම්කර කොමිසමේදී හෙළිවිය.

එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වන රිචඩ් බෙනඩික් ඩයස් කොමිසම හමුවේ අද සාක්ෂි දුන් අතර ඔහු එහිදී කියා සිටියේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ජූනි 30වැනි දින තමන්ට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ දුරකථන ඇමතුමක් ලබාදී ඔහුගේ නිවසට පැමිණෙන ලෙස දැනුම්දුන් බවයි.

ඒ අනූව ඔහුගේ නිවසට ගිය තමන්ට රැකියාව පිළිබඳව අවදානමක් නොමැති බවත්, තම ආයතනය තුළ සේවය කිරීම සඳහා අවස්ථාව ඇති බවත්, අර්ජුන් ඇලෝසියස් පැවසූ බව කොමිසම හමුවේ රිචඩ් බෙනඩික් ඩයස් කියා සිටියේය.

එසේම, නිවසෙන් පිටවන අවස්ථාවේ ඉදිරි සති 2 ඉතා වැදගත් වන බැවින් තමාගේ සහය අවශ්‍ය බව අර්ජුන් ඇලෝසියස් පැවසුවේ යැයි හෙතෙම අනාවරණය කළේය.

ජූලි 3 වැනි දින බැඳුම්කර කොමිසමට අදාළව තමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ගැනීමට නියමිතව පැවති දිනයේදීද අර්ජුන් ඇලෝසියස් යළිත් වට්ස්ඇප් දුරකථන ඇමතුමක් ලබාදුන්නද ඊට තමන් ප්‍රතිචාර නොදැක්වූ බව පෑන් ඒෂීයා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය.

මෙහිදී කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විමසා සිටියේ මෙවැනි දුරකථන ඇමතුම් ලබාදීමේ අරමුණ කුමක්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ සත්‍ය අනාවරණය වීම වැළැක්වීමේ අරමුණින් ඔවුන් මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බවයි.

ඒ අනූව අදාළ දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත උපදෙස් ලබාදෙන ලදී.