ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අද (15) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.  ඒ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී තමන් පෞද්ගලිකව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත්කිරීමටද විරුද්ධ වූ බවයි පැවසුවේ. ඔහුට සේවා දිගුවක් ලබා නොදෙයි යන්න තමාගේ මතය බවත් සඳහන් කළා.
මෙහිදී රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීම ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඉදිරිපත් කර ඇති කිසිඳු චෝදනාවකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා වරදකරු වී නොමැති බවයි.  මේ නිසා ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයෙහි වෙනසක් සිදුනොවනු ඇතැයි ද ඔහු කියා සිටියා.
මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මෙහිදී විමසා සිටියේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කළ මෙම ප‍්‍රකාශය රජයේ පොදු මතය ද යන්නයි. කෙසේ වෙතත් එය රජයේ පොදු මතය නොව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පෞද්ගලික මතයක් බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ප‍්‍රාග්ධන ලැබීම් මත වූ බද්ද ලෙස මීට පෙර කි‍්‍රයාත්මක වූ බද්ද නැවත හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් මෙම බද්දෙන් සාමාන්‍ය පුද්ගලයින්ට, සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බලපෑමක් ඇති නොවන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ.

 

LEAVE A REPLY