මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු වී නැති අවස්ථාවක ඔහු එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් යම් මතභේදකාරී තත්වයක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන බවට වාර්තා පළවෙමින් තිබෙන අවස්ථාවේදීයි අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ.

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය ඊයේ (30) අවසන් වීමට නියමිතයි.

“ඉස්සෙලම චෝදනා ගැන හොයන්න ප්‍රධාන නීතීඥවරුන් තුන් දෙනකුගේ කමිටුවක් දැම්මා, ඒ කමිටුව වැරදිකාරයා කියල කිව්වා නම් පියවර ගන්නවා, වැරදි කාරයා වුනේ නැහැ. ඒක අපි දැම්මා පොලිසියට. පොලිසිය කිව්වා නඩු දාන්න දෙයක් නැහැ කියලා. ඊලගට උසාවියට ගියා මුලික අයතිවාසිකම් නඩුව ඒක අසාර්ථක වුනා, ඉතින් එහෙම තතවයකදී අපිට එයා ඉවත් කරන්න බැහැ. ඒත් අපි කිව්වා පාර්ලිමේන්තුවෙනුත් හොයලා බලන්න කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඒ වැඩ කටයුත්ත කෝප් සභාව අරම්භ කරලා තියෙනවා” අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ පූර්ණ අධි විශ්‍රැත මැදිරි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව, ස්වාධීන රූපවාහිනියත් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

LEAVE A REPLY