ලබන සතියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට නියමිත බවත් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජනමත විචාරණයකට නොගොස් සංශෝධනය කළ හැකි කරුණු සම්බන්ධයෙන් පළමුව අවධානය යොමු කිරීමටත් පසුව සෙසු කරුණු සම්බන්ධයෙන් විකල්ප ඉදිරිපත් කිරීම කාලෝචිත බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මේලනයට සහභාගි වෙමිනි.

එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙරටට හඳුන්වා දෙන තුරු අන්තර් පාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සුදුසු වන බවයි.
දකුණු අප්‍රිකාවේ මේ වනවිට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට පෙර එම රටේ ක්‍රියාත්මක වූයේ අන්තර් පාලන ව්‍යවස්ථාවක් යැයි පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ක්‍රමයක් ලංකාවටද සුදුසු වේදැයි යන්න සොයා බැලීමට මෙය කදිම අවස්ථාවක් වන බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සහ අධිකරණය සතු බලතල තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

එසේම ව්‍යවස්ථාව මඟින් බුදු දහමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය කිසිදු විටෙක වෙනස් නොකරන බවත් සෙසු ආගම්වලටද සමානව සිය ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.