ආණ්ඩුවට මේ රට හදන්නට හැකියාවක් නැති බව ජවිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එසේම රාජපක්‍ෂ කල්ලියටත් නැවත බලයට පැමිණීමට ඉඩදිය යුතුව නැති බව අනුර කුමාර මහතා කියා සිටියේ  ඊයේ (03)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ශිරන්ති රාජපක්‍ෂගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට එෆ්.සී.අයි.ඞී.යට කැඳවා තිබුණා. නමුත් ශිරන්ත රාජපක්‍ෂ කටඋත්තරය ලබාදෙන්න ගියේ කථානායකවරයාගේ නිල නිවසටයි. එෆ්.සී.අයි.ඞී.යට යා යුතු ශිරන්ත රාජපක්‍ෂ කථානායක නිල නිවසට ගියේ කොහොමද? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථාකර ඇතිකරගත් එකඟතාවයට අනුවයි. එම පරීෂක්‍ණ අවසන් වීමෙන් පසුව ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන්කරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. නමුත් දැන් මාස 4කට වැඩි කාලයක් ගතවී තිබියදී ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහට කථා කොට අත්අඩංගුවට ගැනීම වළක්වා තිබෙනවා. මේවා තමයි ඞීල් කියන්නේ.

විමල් වීරවංශගේ පාස්පෝට් ප‍්‍රශ්නයේදී මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහට, මෛතී‍්‍රපාල සිරිසේනට කථාකොට මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටියා. රනිල් ඒ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒවා තමයි ඞීල් කියන්නේ.ඒ වගේම රාජපක්‍ෂ කල්ලියත් රනිල් වික‍්‍රමසිංහ අතරත් ගනුදෙනුවක් තිබෙනවා. මතුපිට දේශපාලනය තුළ නොව සිදුවන සිදුවීම් දිහා ගැඹුරින් විමසා බැලූවොත්  ඒ බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන උපදේශකයා, ගුරු අත්පොත ජේ. ආර්. ජයවර්ධනයි. ජේ.ආර්. ජනාධිපතිවරයා එවකට විපක්‍ෂයෙන් එල්ල වුණු චෝදනාවලින් බේරෙන්න සිදුකළේ ශී‍්‍රලනිපය බෙදා වෙන් කිරීමයි. ඒ සඳහා ඔහු ශී‍්‍රලනිප නිර්මාතෲගේ පුතා වන අනුර බණ්ඩාරනායක යොදා ගත්තා. අම්මා පුතා අතර ගැටුම් ඇතිකළා. ශී‍්‍රලනිපයේ දේශපාලන කාර්යාලයට නඩු කිව්වා. එදා ජේ. ආර්ගේ උපක‍්‍රමය වූයේ එයයි. අද රනිල් වික‍්‍රමසිංහගේ උපක‍්‍රමය වී තිබෙන්නේ ශී‍්‍රලනිපය බෙදීමයි. ඒ වෙනුවෙන් තමයි රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් අනුව රාජපක්‍ෂ කල්ලිය වැඩකරමින් තිබෙන්නේ.ඒ එකඟතාවයන්ට අනුව තමයි බැසිල් අත්අඩංගුවට ගත්ත ගමන් රෝහල්ගත කරන්නේ. පාද යාත‍්‍රාවෙන් පසු ප‍්‍රධාන නායකයින්ගේ කථාවල රනිල් වික‍්‍රමසිංහට විවේචන තිබුණේ නැහැ. මොකද, රනිල්ගේ වුවමනාව වෙනුවෙන් තමයි මේ කල්ලිය වැඩකරන්නේ. රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි වගේම රනිල්ට රාජපක්‍ෂ කල්ලිය අවශ්‍යයි. අද අපේ රටේ අශුද්ධම අපකීර්තිමත්ම පිළිකුල්සහගත ඞීල්එක සිදුවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ-රාජපක්‍ෂ අතරයි.

සුනඛයාගේ ඇඟේ සිටින මැක්කා හිතනවා ඌ සුනඛයාටත් වඩා ලොකුයි කියලා. ශී‍්‍රලනිපයේ වලිගයේ මැක්කෙක් බවට පත්වී සිටන වීරවංශ කොහොමද ජවිපෙට අභියෝග කරන්නේ. අඩුම තරමේ ඔහුට පක්‍ෂයක් තිබෙනවාද? මහින්දගේ ඔඩොක්කුවේ සුරතලෙක් බවට පත්වෙලා ඉන්න, තමන්ගේ පක්‍ෂයෙන් තරඟ කර නාගරික මන්තී‍්‍රකමක් ගන්න බැරිව ඉන්න පුද්ගලයින්ගේ අභියෝග අපි බාරගන්නේ නැහැ. අද ඔහු රාජපක්‍ෂලාගේ ආරක්‍ෂකයෙකු බවට පත්වෙලා ඉන්න සුරතලෙකු බවට පත්වෙලා ඉන්න පුද්ගලයෙකු පමණයි.

රාජපක්‍ෂ කල්ලිය පා ගමන් ගියේ ආණ්ඩුව පෙරළන්න ගිය ගමනක් ලෙස නොවෙයි. ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගම පැහැදිලිවම කිව්වා අපි මේ ආණ්ඩුව පෙරළන්න යන ගමනක් නෙවෙයි කියලා. මහින්ද රාජපක්‍ෂගේ විනාඩි 14ක කථාව ඔබ අහලා බලන්න. ඔහුගේ ප‍්‍රධාන චෝදනාව තිබුණේ එෆ්.සී.අයි.ඞී.යට, සී.අයි.ඞී.යට අල්ලස් දූෂණ කොමිසමට සහ ජනතා විමුක්ති පෙරමුණටයි.  ඒ හැර ඔහුට වෙනත් විවේචනයක් තිබුණේ නැහැ. තාජූඞීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය රාජපක්‍ෂට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එවීමේ පරීක්‍ෂණ ඇතුළු සියලූම පරීක්‍ෂණ සිදුකරන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ නිසා ඔහුත් ඔහුගේ කල්ලිය බේරා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවට ප‍්‍රහාරයක් එල්ල කරනවා.

ඒ වගේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද, වෙල්ගම වීරවංශ, කෙහෙළිය යන අයගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පරීක්‍ෂණයක් සිදුවෙමින් තිබෙනවා. එම පරීක්‍ෂණවලින් තම ගෝලයන් බේරාගැනීම වෙනුවෙන් අල්ලස් කොමිසමට ප‍්‍රහාරයක් එල්ල කරනවා. ඒවගේම නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ, ඝෝඨාභය, බැසිල් යන අයගේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන මූල්‍ය අපරාධ පරීක්‍ෂණ වළක්වා ගැනීමේ අරමුණින් එෆ්.සී.අයි.ඞී.යට ප‍්‍රහාරයක් එල්ල කරනවා. රනිල් වික‍්‍රමසිංහට චෝදනා කරන්නේ නැහැ. මෛතී‍්‍රට චෝදනාවක් නැහැ. මොකද, ඔවුන් එක්ක කරන ඞීල් එකෙන් බේරෙන්න පුළුවන් කියලා රාජපක්‍ෂ කල්ලිය විශ්වාස කරනවා. නමුත් මේ සියලූ දෙනාම යටපත් කරන්න පුළුවන් වුණත් ජනතා විමුක්ති පෙරමුණ යටපත් කරන්න බැරි බව ඔවුන් දන්නවා. එනිසා ජවිපෙට ප‍්‍රහාර එල්ල කරනවා.

සෙනඟ පෙන්නලා පරීක්‍ෂණ සිදුකරන රජයේ නිලධාරීන් බයකරන්න උත්සාහ කරනවා. අපි නිලධාරීන්ට කියනවා බය නැතිව ඔබ ඒ පරීක්‍ෂණ සිදුකරන්න කියලා. නැවතත් මේ රටේ රාජපක්‍ෂ බලයට එන්නැති බව අපි පැහැදිලිව කියනවා.රාජපක්‍ෂ කල්ලියේ අය කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න එපා කියලා. එහෙනම් මේ ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්‍ෂට නැවත මේ රටේ නායකත්වයට පත්වෙන්න බැහැ. නැවත ඡන්දයක් පැවැත්වීමට තිබෙන්නේ 2020 පහුවෙලා. ඒ වනවිට මහින්ද අවුරුදු 76ක්. ගෙදර ඉන්න මුත්තාගේ වයස. ඔහු කොහොමද නැවත ආණ්ඩුවක් හදන්නේ? එනිසා ඔවුන්ගේ එකම බලාපොරොත්තුව නැවත ආණ්ඩුවක් හැදීම නොව පරීක්‍ෂණ සිදුකරන නිලධාරීන් අධිකරණ විනිසුරුවරුන් බියගැන්වීම සඳහායි මේ ජෝගිය නටන්නේ.

මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුවට මේ රට හදන්න බැහැ. ඒ වගේම රාජපක්‍ෂ කල්ලියටත් නැවත බලයට එන්න ඉඩ දියයුතු නැහැ. සිදුකළ යුතුව තිබෙන්නේ අපේ රටේ ජනතාව ඒකාබද්ධ වෙලා නව ආණ්ඩුවක් පත්කර ගැනීමයි. ඒ සම්බන්ධයෙන් අපි විවිධ පාර්ශ්ව සමඟ දීර්ඝ සාකච්ඡාවක ඉන්නවා. පුළුල් ජනතා පෙරමුණක් ගොඩනැගීම වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මේ වනවිටත් දීර්ඝ සාකච්ඡාවක අපි නියැළිලා ඉන්නවා.