වර්තමානයේ ඇති වී තිබෙන ශිෂ්‍ය අරගල සඳහා වගකිව යුත්තේ පවතින පාලනය සහ පාලකයන්  බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සි‍ටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන් සමාජයේ විවිධ විග‍්‍රහ විවිධ චිත‍්‍ර ගොඩ නඟා තිබෙනවා. ඇතැම් අය කියනවා ශිෂ්‍ය අරගල කියන්නේ කඩාකප්පල්කාරී ක‍්‍රියා කියලා. තවත් සමහරු එම අරගල ශිෂ්‍යයින්ගේ නොහික්මුණු කි‍්‍රයා ලෙසත්, තරුණයින්ගේ ගැටුම්කාරී ස්වභාව නිසා ඇතිකරගන්නා ගැටුම් ලෙසත්, ශිෂ්‍යන්ට අදාල නොවන දෙයක් ලෙසත්, අර්තකථනය කරමින් තිබෙනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සෑම කෙනෙකුගේම අභිලාෂය, අරමුණ වී තිබෙන්නේ අධ්‍යාපනය කටයුතුවල නියැළීමයි. විශ්වවිද්‍යාලයට එන දරුවා උසස් පෙළ විභාගය සමත්වීම වෙනුවෙන් දරනු ලබන උත්සහය කැපවීම තුළින්ම පෙන්නුම් කරනවා ඔවුන්ගේ මූලික අරමුණ, අභිලාෂය අධ්‍යාපනය ලබාගැනීම බව. නමුත් එම සිසුන්ට අද පාරට බහින්න සිදුවෙලා තිබෙනවා; උපවාස කරන්න සිදුවෙලා; සෑම වෛද්‍ය පීඨයක් ඉදිරිපටම සත්‍යග‍්‍රහ කරන්න සිදුවෙලා; පංති වර්ජන, රැස්වීම් කරන්න සිදුවෙලා; අනෙකුත් දේශපාලන ව්‍යාපාර සමග ඒකාබද්ධව සටන් කරන්න සිදුවෙලා. එනිසා මෙම අරගල ඇතිවී තිබෙන්නේ තරුණකම නිසා ඇතිවූ ගැටලූවක් නිසා නොව පාලකයින්ගේ වැරදි අධ්‍යාපන ප‍්‍රතිපත්ති නිසා ඇති වූ ප‍්‍රතිවිපාකයක් ලෙසයි.

සිසුන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙනවා. එකක් ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන වටපිටාවක් නොමැතිකම. ඈත ගම්මානවල සිට එන සිසුන්ට නේවාසිකාගාර ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් අද කොළඹ, මොරටුව, ජයවර්ධනපුර ඇතුලූ විශ්විද්‍යාල ගණනාවක සිසුන්ට තම අධ්‍යාපන කටයුතුවලට සරිලන නවාතැනක් ලැබී නැහැ. ඒ වගේම නියමිත පාඨමාලාවන් සඳහා මානව සම්පත් හිඟකමක් තිබෙනවා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ කාලයක පටන් ආචාර්යවරුන්ගේ හිඟයක් තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ආචාර්යවරුන් ඉල්ලා ශිෂ්‍යයන්ට අරගල කරන්න සිදුවුණා. මෙම මානව හා භෞතික සම්පත් හිඟය නිසා ශිෂ්‍යයන්ට අධ්‍යාපනයට හොඳ වටපිටාවක් ගොඩනැගිලා නැහැ. ඒ වෙනුවෙන් අරගල කිරීම ශිෂ්‍යයන්ට තිබෙන අයිතිවාසිකමක්. එය සාධාරණ යුක්තිසහගත නැද්ද?

මේ ආණ්ඩුවල අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ මොකක්ද? සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කරනවා වෙනුවට ධනය තිබෙන අයට ලබාදෙන වරප‍්‍රසාදයක් ලෙස අද අධ්‍යාපනය පත්වෙලා. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කර විකුණා ලාභ ලැබීමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. දැනුම විකිණීම ශිෂ්ට සම්පන්නද? දැනුම යනු මුළු මානව ශිෂ්ටාචාරයේ අත්දැකීම්වල සම්භාරයයි. එය අයිති මානව සමාජයටයි. ඒ දැනුම සයිටම් මුදලාලිට අයිති දෙයක් නෙවෙයි. ඔහුට දැනුම අලෙවි කළ හැකිද? මේ වනවිට ලෝකය පුරා විශාල සංවාදයක් මතුවෙලා තිබෙනවා දැනුම වෙළඳ භාණ්ඩයක් කොට ලාභ ලැබීම සාධාරණද කියලා. පැවති පාලනයත් පවතින පාලනයත් අධ්‍යාපනය විකුණන්න සැලසුම් කළා. සයිටම් ආයතනය එහි හොඳම උදාහරණයයි.

අධ්‍යාපනය විකිණීමට එරෙහිව ශිෂ්‍ය සටන් පැන නැගිලා තිබෙනවා. එය අද ශිෂ්‍ය ව්‍යාපාරයේ පමණක් නොව ජනතා අරගලයක් බවට පත්වෙලා. අධ්‍යාපනය වරප‍්‍රසාද ලත් පැලැන්තියට ලබාදීම වැළැක්විය යුතුව තිබෙනවා. ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ තම ප‍්‍රතිපත්ති වෙනස් කරනවා වෙනුවට එය අද අධිකරණයේ කාර්යභාරයක් ලෙස සළකා අධිකරණයට පවරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරනවා. සෞඛ්‍ය ඇමතිගේ ඥාති දියණියත් අද සයිටම් ශිෂ්‍යාවක්. අධ්‍යාපනයේ ප‍්‍රතිපත්ති සකස් කිරීම ආණ්ඩුවේ කාර්යභාරයක්. එකිනෙකාට බෝලය පාස් කිරීම ආණ්ඩුවේ මෙම කි‍්‍රයාවලිය නිසා අද සිසු දරුවන්ට මහමඟට එන්න සිදුවෙලා. කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිදි වර්ජිතව සටන් කරන්න සිදුවෙලා.

එපමණක් නොවෙයි, අද ආණ්ඩුව දැවැන්ත ශිෂ්‍ය මර්දනයක ඉන්නවා. පැවති මහින්ද රාජපක්‍ෂ පාලනය උද්ඝෝෂණය කරපු ජනතාවට රතුපස්වලදී, හලාවතදී, කටුනායකදී වෙඩි තැබුවා. ඝාතනය කළා. ශිෂ්‍ය අරගලවලට පහර දුන්නා. ඒ අමානුෂික, ම්ලේච්ඡු පහරදීම් ජනවාරි 08වැනිදා රාජපක්‍ෂ පාලනය බිඳදැමීමට හේතු වුණා. ජනවාරි 08න් පසු ගොඩනැගුණු පාලනයත් උද්ඝෝෂණවලට පහර දෙන්න පටන් අරගෙන.

මේ වනවිට සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 26දෙනෙක් පංති තහනම්කොට තිබෙනවා. 28දෙනෙකුට නඩු පවරා තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ 24දෙනෙකුගේ පංති තහනම් කර තිබෙන අතර 19දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 24දෙනෙකුට නඩු පවරා තිබෙනවා. රුහුණු විශ්විද්‍යාලයේ තුන්දෙනෙකු සිරගත කර තිබෙන අතර 5දෙනෙකුට නඩු පවරා තිනෙවා. මොරටුව විශ්වවිද්‍යාලයේ 25දෙනෙකුගේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 29දෙනෙකුගේ, එච්.එන්.ඞී.ඒ. සිසුන් 35දෙනෙකුගේ පංති තහනම් කොට තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු අත් අඩංගුවට ගෙන සිරගත කළා. උසස් අධ්‍යාපන ඇමති උසස් අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කරනවා වෙනුවට ඔහු අද ඉටු කරමින් තිබෙනුයේ බන්ධනාගාර ඇමතිගේ කාර්යභාරයයි.

ඒ විතරක් නෙවෙයි පොලීසිය යොදවමින් ශිෂ්‍ය නායකයින්ගේ ගෙවල්වලට ගොස් තර්ජනය කරමින් ඔවුන් බියගන්වමින් තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා මාස එක හමාරක් ගත වෙනකොට 2005.03.31. පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයට පහර දුන්නා. ඉන් අනතුරුව අපේ‍්‍රල් 29වැනිදා පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයටත් ඔක්තෝබර් 29 සහ නොවැම්බර් මාසයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණවලටත් පහර දුන්නා. 2016 අපේ‍්‍රල් 06වැනිදා සහ 23වැනිදා පැවති වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ උද්ඝෝෂණවලට පහර දුන්නා. ආණ්ඩුව සිසු ගැටලූ විසඳනවා වෙනුවට සිසුන් මර්දනය කරමින් තිබෙනවා. එම නිසා මෙම ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි ආණ්ඩුවේ මර්දනයට අපේ රටේ ජනතාව එරෙහි විය යුතුව තිබෙනවා. මෙම ශිෂ්‍ය මර්දනය ඉදිරියේදී ජනතා අරගල මර්දනය දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ ආණ්ඩුවේ මර්දනය දුටු තැන පරාජයට පත්කළ යුතුව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ සිසු ගැටුම ඉතා අවාසනාවන්ත තත්වයක්. විශ්වවිද්‍යාලයක නොව ගම්මානයකදීවත් මෙවැනි ජාතිවාදී ගැටුමක් ඇති නොවිය යුතුව තිබෙනවා. එම සිදුවීම ජාතිවාදය එකම දේශපාලන භූමිකාව කරගත් අයට උත්තේජනයක්. අප මෙවැනි ජාතිවාදී ගැටුම්වලින් බැටකාපු ජාතියක්. ගැටුම් වෙනුවෙන්  ඕනෑතරම් ලේ, කඳුළු හෙළා තිබෙනවා. ජීවිත අහිමි වෙලා තිබෙනවා. දේපොළ අහිමිවෙලා තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ අනවරත යුද්ධයකින් බැටකා තිබෙනවා. කවර පන්නයේ වුව ජාතිවාදී ගැටුමක් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. එම නිසා මෙම ගැටුම අපි හෙළා දකිනවා.

මෙවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය පෙරට ආ යුතුයි. එක් ජාතිවාදයකින් තවත් ජාතිවාදයක් යටපත් කරන්න බැහැ. එක් ජාතිවාදයක් වර්ධනය වීමට සාපේක්‍ෂව අනෙක් ජාතිවාදය වර්ධනය වෙනවා. ජාතිවාදයට උත්තරය ජාතික සමගියයි. එම නිසා අපි සියලූ දෙනා ශී‍්‍ර ලාංකීය පුරවැසියන් ලෙස මේ ගැටුම දෙස බැලිය යුතුයි. මෙවැනි ගැටුම් සඳහා ඉඩකඩ ලබා නොදිය යුතුයි. මේ වනවිට ශිෂ්‍ය ව්‍යාපාරයත් නිදහස් අධ්‍යාපනයත් බරපතල ඉරණමකට මුහුණ දී තිබෙනවා. මේ වෙලාවේ ඇතිවන ජාතිවාදී ගැටුම් හිතකර වන්නේ පාලකයින්ටයි. කිසි දිනෙක ජාතිවාදී ගැටුම් ජනතාවට හිතකර වන්නේ නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙම ගැටුම සමනය කළ යුතුයි. මෙම ගැටුම් අවුළුවාලීම වෙනුවට එය සමනය කිරීම වෙනුවෙන් අපේ රටේ මාධ්‍යවේදීන් තමන්ගේ පෑන හැසිරවිය යුතුයි.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

බැසිල් රාජක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙසත් ආණ්ඩුවේ සාමාජිකයෙකු ලෙසත් තම භූමිකාව ඉටු කළේ කිසිවෙකුගේ අදහස්වලට ගරු කරමින් හෝ සවන් දෙමින් නොවේ. 2004 මැතිවරණය වෙලාවේ ඔහු ලංකාවේ හිටියේ නැහැ. 2005 වර්ෂයේ ඔහුගේ අයියා විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළා. ඉන් පසු පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙකු ඉවත් කර ඔහු කෝප් කමිටුවට ආවා. එයට හේතුව වුණේ ඒ වෙලාවේ ආණ්ඩුවට එරෙහි විශාල වංචා-දූෂණ ප‍්‍රමාණයක් කෝප් කමිටුවේ විමර්ශනය වෙමින් තිබීමයි. බැසිල් රාජපක්‍ෂගේ ආයතන පිළිබඳවත් ආණ්ඩුවේ බොහෝ ආයතන පිළිබඳවත් කෝප් විමර්ශන සිදුවුණා. එවැනි අවස්ථාවල බැසිල් රාජපක්‍ෂ කෝප් කමිටුව තුළ ඉතා ආවේගයෙන් හැසිරුණා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ අපි ඔහුට කියා සිටියා, ජනාධිපතිගේ මල්ලී ලෙස හෝ ශී‍්‍රලනිපයේ නායකයෙකු ලෙස සිදුකරන බලපෑම් අපිට අදාල වෙන්නේ නැහැ කියලා. ඉන් පසු ඔහු නිහඬ වුණා. මීට වසර 6කට පමණ ඉහතදී සිදුවුණ එවැනි සිදුවීම් පිළිබඳව අද දයාසිරි ජයසේකරලාට කතාකරන්න සිදුවෙලා තිබෙනවා.

ජනවාරි 08වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල 09වැනිදා නිකුත් වුණා. රාජපක්‍ෂගේ පරාජයත් සමඟ 10වැනිදා බැසිල් රාජපක්ෂ රට අත්හැරලා තමන්ගේ නිජබිම වූ ඇමරිකාවට ගියා. ඉන්පසු බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහුට එරෙහිව පරීක්‍ෂණ ආරම්භ කළා. ඉන් පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමඟම බැසිල් ලංකාවට ආවා. ඉන්පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඞ් කළා. රටින් පිටවීමට නොහැකි වන ලෙස ගමන් බලපත‍්‍රය  රඳවා ගත්තා. එනිසා දැන් බැසිල්ට රටින් පිටවීමට හැකියාවක් නැහැ. කොයි මොහොතේ හෝ ගමන් බලපත‍්‍රය නිදහස් කළොත් බැසිල් යන්නත ඉඩ තියෙනවා. ඔහු ඉන්න ටිකේ මොකක් හරි කරමින් ඉන්නවා. ඔහුගේ ජාතිකත්වය ශී‍්‍ර ලංකන්-ඇමරිකන්. ඔහු හදන ව්‍යාපාරයත් ශී‍්‍රලන්කන්-ඇමරිකන් ජාතික ව්‍යාපාරයයි. බැසිල් පස්සේ යන දේශපේ‍්‍රමී සළුපිළි හැඳගත් අයගෙන් අහන්න තිබෙන්නේ ශී‍්‍රලන්කන්-ඇමරිකන් ජාතික ව්‍යාපාරයට ඔවුන් සහාය දෙනවාද කියලයි. ඒ විතරක් නෙවෙයි, බැසිල් රාජපක්‍ෂලා අලෙවි කරන්නේ ති‍්‍රවිධ හමුදාවේ වීරත්වයයි.

බැසිල් රාජපක්ෂලා රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්න, ඔවුන්ට මහා භක්තියක්, පේ‍්‍රමයක් තිබෙන දේශපාලනඥයින් ලෙසයි පෙන්වන්න උත්සාහ කරන්නේ. පසුගියදා බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණි නාවික හමුදාවේ නිලධාරීන් දිව්රුම් ප‍්‍රකාශ ලබාදී තිබුණා. එම දිවුරුම් ප‍්‍රකාශවලට අනුව නාවික හමුදාවේත් ඇතුළුව හමුදා නිලධාරීන් 61කෙනෙකු බැසිල්ගේ නිවසේ සේවයට යොදවා තිබුණා. ඒ අනුව ප‍්‍රවාහන සහායකයින් 12ක්, ආහාර සහායකයින් 11ක්, නිවාස සහායකයින් 26දෙනෙක්, සුනඛ සංචිතය සඳහා 06දෙනෙක්, වෛද්‍ය සහායකයින් 04දෙනෙක්, ශාරීරික අභ්‍යාස නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් බැසිල්ගේ සහ පුෂ්පාගේ කටයුතු සඳහා හමුදා නිලධාරීන් 61දෙනෙකු යොදවා තිබුණා. මහජන මුදලින් වැටුප් ගෙවමින් මෙම නිලධාරීන් බැසිල්ගේ නිවස අතුගාන්න, මකුළුදැල් කඩන්න පුෂ්පාගේ සාරිකට්ට ගහන්න යොදවලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, එම නිලධාරීන්ට ප‍්‍රභූ රාජකාරි වෙනුවෙන් මාසිකව රු.5,000ක දීමනාවකුත් මහජන මුදලින් ගෙවා දැමුවා. බැසිල්ගේ ඇමරිකාවේ පිහිටි නිවසේ කටයුතු සඳහාද හමුදා නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබුණා. මේ ආකාරයෙන් තමන්ගේ සුඛ විහරණය සඳහා මහජන මුදල් වියදම් කරපු දේශපේ‍්‍රමය තබා මිනිස්කමවත් නැති පිරිසක් කොහොමද ජාතික බලවේගයක් හදන්නේ? එනිසා ඔවුන් මේ දරන්නේ තමන්ට අහිමි වුණු සුඛ විහරණ නැවත ලබාගැනීමේ උත්සාහයක් පමණයි.

මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව භාණ්ඩවලට පාලන මිලක් අදාල වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව අනුගමනය කරන වෙළඳපොළ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව භාණ්ඩවල මිල තීරණය වෙන්නේ වෙළඳපොළ තරඟකාරිත්වය මතයි. මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය වන වෙළඳපොළ ආර්ථික ක‍්‍රමයට කිසි ලෙසකින්වත් භාණ්ඩවලට ස්ථාවර මිලක් තීරණය කරන්න බැහැ. පැනනැගී තිබෙන භාණ්ඩ මිල ප‍්‍රශ්නයට කිසිසේත්ම පාලන මිලක් නියම කිරීම විසඳුමක් නෙවෙයි. මේ ආණ්ඩුව අනුගමනය කරනු ලබන ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා ඇතිවූ ගැටලූවට වෙනත් ආර්ථික ප‍්‍රතිපත්තියක විසඳුමක් යෝජනා කිරීම නිසා ඇතිවූ ප‍්‍රතිවිරෝධය තමයි දැන් මේ මතුපිටට පැමිණ තිබෙන්නේ.

කි‍්‍රෂ් සමාගම නාමල් රාජපක්‍ෂට මුදල් ලබාදෙන්නේ ඇයි? එය තමයි මෙතන තිබෙන මූලික ප‍්‍රශ්නය. කි‍්‍රෂ් සමාගම ඉන්දියානු සමාගමක්. ඉන්දියානු සමාගමක් මොකටද ලංකාවේ රගර් ප‍්‍රවර්ධනයට මුදල් ලබාදෙන්නේ? ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන සමාගමක් ලංකාවේ කී‍්‍රඩාවකට සහාය ලබාදෙන්න පිළිගන්න පුළුවන්. නමුත් ලංකාවේ ව්‍යාපාර කටයුතු නොකරන ක‍්‍රිෂ් සමාගම නාමල්ට සල්ලි දුන්නේ ඇයි? කි‍්‍රෂ් සමාගම ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පැමිණියා. ඒ අනුව ලංකාවේ කොළඹ නගරයේ වැදගත්ම භූමි කොටසකින් අක්කර 4ක් මිලදී ගන්නවා. එම බිම් කොටස අයිතිවී තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියට. ඒ කියන්නේ අපේ රටේ ජනතාවගේ ඉඩම්. නාමල් රාජපක්‍ෂ මෙම ඉඩම කි‍්‍රෂ් සමාගමට ලබාදෙනවා. ඒ හරහා මහා භාණ්ඩාගාරයට යායුතුව තිබෙන මුදල්වලින් කොටසක් නාමල් රාජපක්‍ෂගේ ගිණුමට බැර වෙනවා. නාමල් රාජපක්‍ෂගේ කුළුපග යාළුවා මේ සම්බන්ධයෙන් එෆ්.සී.අයි.ඞී.යට කටඋත්තරයක් ලබාදී තිබෙනවා. මෙම ගනුදෙනුව පිළිබඳව නාමල් රාජපක්‍ෂට කි‍්‍රෂ් සමාගමට, දිනේෂ් ගුණවර්ධනට, විමල්ට ප‍්‍රශ්නයක් නොවුණට මේ රටේ ජනතාවට, ජනතා විමුක්ති පෙරමුණට ඒක ප‍්‍රශ්නයක්. මොකද මේ ධනය අයිති අපේ රටේ ජනතාවටයි. ඒ නිසා මේ ආණ්ඩුවට, ජනතාවට අහිමිවූ මුදල් නැවත අයකර ගැනීමත් මහජන ධනය අයථා ලෙස පරිහරණය කිරීමේ වරදට ඔවුන්ට දඬුවම් ලබාදීම සිදුකළ යුතුව තිබෙනවා. එය තමයි මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුවට ලැබුණු ජනවරම. එම නිසා එම ගණුදෙනුව පිළිබඳව සිදුකළ පැමිණිල්ල යුක්තිසහගත එකක්.

පහුගිය ආණ්ඩුවේ කි‍්‍රයාවලිය වුණේ වංචා-දූෂණ සම්බන්ධ ෆයිල් මහින්ද රාජපක්‍ෂ ළඟට ගෙන දූෂිතයින් ඔහු ඔහුට  ඕනෑ විදියට මෙහෙයවීමයි. ඒ රාජපක්‍ෂ තියරියයි. අද රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුවෙන් සිදුවෙන්නේ දූෂිතයින් පිළිබඳ හොයන්න දූෂණයට හවුල් වූවන්ගෙන්ම කමිටුවක් පත්කරන එකයි. ඉන් පසු කමිටුවෙන් විමර්ශනය කරලා දූෂිතයින් නිවැරදිකරුවන් කොට වාර්තාවක් ඉදිරිපත් කරනවා. මහබැංකු බැඳුම්කර ගණුදෙනුව වෙලාවේදී මේ විදියට සිදුවුණා. ඒ අනුවම යමින් ගල්අඟුරු ටෙන්ඩරය පිළිබඳව හොයන්න කමිටුවක් පත්කර තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේත් රනිල්-මෛතී‍්‍ර පාලනයේත් වංචා-දූෂණ පිළිබඳව ප‍්‍රතිපත්තිය එක සමානයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි තිබෙන ඉඩකඩ පාවිච්චි කරලා වංචා-දූෂණ යට යන්න නොදී දූෂිතයින්ට දඬුවම් ලබාදීමට බලපෑම් කරනවා. පාර්ලිමේනතුවේ කෝප් කමිටුව හරහා දූෂණ පිළිබඳව විමර්ශනය කරනවා.දූෂිතයින්ට එරෙහිව මහජන මතය ප‍්‍රබලවීමට සාපේක්‍ෂව ආණ්ඩුවට කි‍්‍රයාමාර්ග නොගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. ඒනිසා සිදුවිය යුත්තේ දූෂිතයින්ට එරෙහිව ප‍්‍රබල මහජන මතයක් ගොඩනැගීමයි.

සරත් ෆොන්සේකා මහතා සිරගත වූ වෙලාවේ ඔහුට විශේෂ පහසුකමක් ලබාදීම පිළිබඳව සලකා බලන්න වෛද්‍ය නිර්දේශයක් ලබාදී තිබුණා. මොකද, ඔහු මුහුණදුන් බෝම්බ සිදුවීමෙන් පසුව ඇතිවූ ශාරීරික දුබලතාවය නිසා. නමුත් විශාල ශක්තියක් වැයකිරීමට අවශ්‍ය වන රගර් කී‍්‍රඩාවේ නායකයකු වන නාමල් රාජපක්‍ෂට සිරමැදිරියට මෙට්ටයක් ලබාදීමට නිර්දේශ කරන්නේ කුමණ තත්වයක් යටතේදැයි අපට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ.

LEAVE A REPLY