නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර යම් මතභේදකාරී තත්වයක් හටගෙන ඇති අතර එය යහපාලන ආණ්ඩුවේ පැවැත්ම බරපතල අභියෝගයකට ලක්කර ඇත.

තමා හා මුදල් ඇමතිවරයා මග හැර සිය උපදේශකයින්ගේ හා සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසකගේ මෙහෙයවීම මත, ජනාධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට උත්සහ කිරීම අගමැතිවරයාගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පැය කිහිපයක් ඇතුලතදී නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන්නේ යැයි පසුගිය බදාදා (29) පොලොන්නරුව ගිරාඳුරුකෝට්ටේ පැවති රැස්වීමකදී ප්‍රසිද්ධියේ පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නව මහ බැංකු අධිපති ලෙස පත්කිරීම සඳහා එදිනම සවස මහ බැංකුවට ගොස් තිබෙන්නේ අගමැතිවරයාට හෝ මුදල් ඇමතිවරයාට කිසිඳු දැනුම්දීමකින් තොරවවීම ඊට හේතුව බව පැවසේ.

ජනාධිපතිවරයා එසේ කිසිවකුට නොදන්වා නව මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කිරීම සඳහා මහ බැංකුවට ගොස් සිටින බව වාර්තාවීමත් සමග අගමැතිවරයා ද වහාම මහ බැංකුවට ගොස් තිබේ.

පසුදින (30) සිය ධුර කාලය අවසන් වීමට නියමිතව සිටි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද එම අවස්ථාවේ මහ බැංකුවේ සිට ඇත.

එහිදී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් පසුගිය මාස කිහිපයේ සිදුකල විශාල කාර්ය භාරය අගයමින් ආයතනයේ නිලධාරින් කිහිප දෙනෙකුම අදහස් දක්වා ඇති අතර ඒ සියලු කරුණු ලිඛිතව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙහිදී මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැත.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කරන්නයි සිවිල් සංවිධාන නියෝජිතයින්ට යෝජනා කර ඇත්තේ ඊබට් හා අත්තනායක නමැති එම ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බවට තොරතුරු වාර්තා වී ඇතැයි එජාප මාධ්‍ය ඒකකයේ නිලධාරියකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

මෙම නිලධාරින් දෙදෙනාට පසුගිය ආණ්ඩුව සමයේදී උසස්වීම් ලබාදී ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් බවද ඔහු අවධාරණය කර සිටියේය.

රනිල්ගේ යෝජනා ප්‍රතික්ෂේප වේ :

මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, බරපතල චෝදනා එල්ලවී ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට යලි සේවා ලබාදෙන ලෙස අගමැතිවරයා දැඩි ස්ථාවරයක සිටින නිසා ජනාධිපතිවරයා බලවත් අසීරුතාවයකට පත්ව සිටින බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් සිදුකර ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට තවදුරටත් සේවා දිගුවක් නොදෙන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටිති.

එසේම පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඇති සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ද එම ස්ථාවරයේ සිට අදහස් දක්වා ඇති අතර, මහ බැංකු අධිපති ලෙස මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨයකු හෝ ස්වාධීන පුද්ගලයකු පත් කරන්නැයි ඉල්ලා තිබේ.

එසේම විගණකාධිපති වාර්තාවේ නිර්දේශ මත කටයුතු කරන්නැයි ද එජාපයේ ප්‍රබල ඇමතිවරු ගණනවක් ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY