ගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ සියලූ දිස්ති‍්‍රක්ක ඉදිරියේදී එම තත්වයන්ගෙන් මුදාගැනීම සදහා දේශීය සහ විදේශීය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සකස් කෙරෙන සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී මෙන්ම සති පතා රැස්වන ජාතික ආපදා කළමනාකරණ සභාවේදී ඒ පිළිබද සාකච්ජා කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති, හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබද විශේෂ සාකච්ජාව අමතමිනි.ගංවතුර සහ නායයාම් හේතුවෙන් මාතර දිස්ති‍්‍රක්කයේ විපතට පත් ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් විය.

විනාශයට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සදහා අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම් පිළිබද කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ද උපදෙස් දුන්නේය.එමෙන්ම මෙම ඉදිකරන සියලූ නිවාස එක් සැලැස්මක් යටතේ ඉදිකරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා විදේශ රටවලින් ලැබෙන සියලූ ආධාර එක් ගිණුමකට යොමුකර එම නිවාස ඉදිකරදීමේ වැඩසටහන සදහා යොදා ගැනීමට ද උපදෙස් දුන්නේය.නිවාස ඉදිකරදීමේ වැඩසටහන සදහා සහය දැක්වීමට රටවල් රැසක් කැමැත්ත පළ කර තිබෙන අතර ඒ සදහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් පිළිබද වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.ගංවතුර ආපදාවට ලක්වන සියලූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප‍්‍රදේශීය ලේකම් කාර්යාල සදහා බෝට්ටු 02 බැගින් ලබාදීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා ගංවතුරට හසු වූ නිවාස සුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු සදහා ප‍්‍රදේශීය ලේකම් කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල ජල බවුසර් යෙදවීමට ද නිලධාරින්ට දැනුම් දුන්නේය.

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායමාර්ග නගා සිටුවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය හරහා සැලසුම් කර තිබෙන අතර එම කටයුතු ඉදිරියේදී කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා සදහන් කළේය.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන. මංගල සමරවීර, සාගල රත්නායක, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන බුද්ධික පතිරණ, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් රැසක් ද, මාතර දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.