හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ජපානයේ සිට හදිසියේම ඇමරිකාවේ සංචාරයක නිරත ගරු අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා සමඟ දුරකථන සංවාදයක් නිරත වූ බව වාර්තා වනවා. කටාර් අර්බුදයෙන් ශ්‍රී ලාංකිකයන්ට කරදරයක් වන්නේ නම් ඊට මැදිහත් වී ඔවුන් ඉන් මුදා ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති අගමැතිවරයා පවසා ඇත්තේ දැනටමත් රජය ඒ පිළිබඳව අවධානය යොමු කොට ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව වාර්තාවක්ද කැඳවා ඇති බැවින් විදේශ අමාත්‍යංශය ඒ විමසිල්ලෙන් සිටින බවත් ඒ අනුව රජය අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවත් පවසා ඇත.

කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් කළ ඉල්ලීම අනුව හිටපු ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම සිදුකොට ඇති බවද කියැවේ. එමෙන්ම එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාගේ සැප සනීපද විමසා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජපානයේද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේද සංචාරයක යෙදී සිටිති.

  • උපුටා ගැනීම මව්බිම