ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියානු රජය හෝ ශ්‍රී ලංකා රජය කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

එවන් අමනෝඥ හා දේශද්‍රෝහි ක්‍රියාවන් රජය කිසිසේත් සිදු නොකරන අතර රජය අප්‍රසාදයට පත් කිරීමට කරන මෙම ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ තලවතුගොඩ, ගනේලන්ද විහාරස්ථානයේ ඊයේ (10) පස්වරුවේ පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමිනි.

දකුණු ඉන්දියාවේ පැවති ප්‍රාන්ත මැතිවරණයකදී දකුණු ඉන්දියානු මන්ත්‍රීවරයෙක් සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් හා ඉන්දීය ලොග් සභාවේදී එක් දකුණු ඉන්දියානු මන්ත්‍රීවරයෙක් කළ මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ප්‍රකාශය ඔස්සේ අපේ රටේ ජනතාව නොමඟ යැවීමට ඇතැම් පිරිසක් උත්සාහ දරණ බව ද කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බෞද්ධාගම පිලිබඳ ඡේද ඉවත් කරමින් මේ රට අනාගමික රටක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට නව රජය සූදානම් වන බවට පටු දේශපාලන අන්තවාදීන් ගෙන යන අසත්‍ය ප්‍රචාර ද තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ජාතික සංවර්ධනයේදී මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපට ලෝකයට දායාද කළහැකි උතුම්ම දායාදය වන්නේ බෞද්ධ දර්ශනය බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් ථෙරවාදී බුදුදහම ප්‍රචාරය කිරීමේ මූලස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් අධි තාක්ෂණ ලෝකය හා වාණිජ්‍ය සමාජය සමඟ පිරිහී යන සමාජය සුවපත් කිරීමේ වගකීම ඉටු කරන බව ද කියා සිටියේය.

වෙසක් මහා ජාත්‍යන්තර උළෙල ලබන වසරේ ශ්‍රී ලංකාවේදී ඉතා උත්කර්ෂවත්ව සැමරීමට සියලු සංවිධාන කටයුතු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුව මේ වන විට සිදු කරමින් සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ගනේලන්ද රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්ම දස්සි සීනාදි සිව් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිති කර ගනිමින් විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට හා වලාකුළු ප්‍රකාරය විවෘත කිරීම සහ විහාරස්ථාන පරිශ්‍රයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ පුණේ‍යා්ත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළ අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන්වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද, සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ.