ඉන්දීය සාගර පාලන නීති පද්ධතියක් ගොඩනගා ගැනීමට එකඟතාවක් ඇති කර ගත යුතු  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය සාගර නීති පද්ධතිය රාජ්‍යයන් අතර අන්තර් ක්‍රියාවන්ට මග පෙන්වමින් ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කරන්නක් විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම කලාපයේ අධ්‍යාපන හා මානව ප්‍රාග්ධන සංවර්ධන සහයෝගීතාව සඳහා වැඩසටහනක් සකස් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ(01) රාත්‍රී පැවති ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.

රටවල් 21ක් නියෝජනය කරමින් නියෝජිතයින් 250 දෙනෙකු සමුළුව සඳහා සහභාගී වී සිටියි.

එහිදී කලාපයට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අදහස් දැක්වීම ඉන්දීය සාගර කලාපීය අනාගතය පිළිබඳ දූරදර්ශී කියවීමක් ලෙස සමුළුවට පැමිණි සිටි විද්වතුන්ගේ ප්‍රසංසාවට සහ අවධානයට ලක් වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

සමුළුවේ ඉදිරි සැසිවාරයන්හිදී එම අදහස් පිළිබඳ ගැඹුරු විමසීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද එම විද්වතුන් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ස්කයිප්  තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය සාගරය යන්න හුදු ජල කඳක් පමණක් නොවන බවයි.

එය දැවන්ත ඉතිහාසයක් ශේෂ කර ගත් සමාජ ආර්ථික පදනමක් හා ආසන්න රාජ්‍යයන් මත ආර්ථික වෙළෙඳ සමාජයීය සංස්කෘතික හා තාක්ෂණික සබඳතා ගොඩනැංවීමේ වේදිකාවක් බව ද ඇය අවධාරණය කර තිබේ.

සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා ද සමාරම්භක සැසිය අමතමින් අදහස් දැක්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.download download (1) download (2) download (3) download (4)