යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක කටයුතු තවත් මාස නවයකින් ආරම්භ කෙරෙන බවට මේ සති අන්ත ‘ඉරිදා දිවයින’ පුවත්පත පල කර ඇති මුල් පුවත තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, අසත්‍ය ප්‍රචාර කරන බවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දෝෂ දර්ශනයට ලක් කළේය.

“විදේශීය විනිසුරුවෝ ගෙන්නන්න මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තිර කොට කියා සිටියේ ඊයේ (09) පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ පැවති වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමියන්ගේ ජන්මදින උපහාරෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

”ජනමාධ්‍ය කෙරේ තම විවේචන එල්ල කිරීමට හේතුවූ ‘යුද අධිකරණය තව මාස 9 කින්, විදෙස්‌ විනිසුරුවොත් එති” හිසින් ලියා තිබුනු මුල් පුවත රැගත් ‘ඉරිදා දිවයින’ පිටපතක් සභාවට ප්‍රදර්ශනය කළ ජනාධිපතිවරයා එය ජනතාව නොමග යවන සහ නොසන්සුන් කරන වාර්තාවක් ලෙසින් හෙලා දුටුවේය.

‘ඉහළ පෙළේ ආරංචි මාර්ග’ :

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල තත්වය ‘පහත වැටී’ ඇති බවට චෝදනා කළ ජනාධිපතිවරයා ඒවායේ හැසිරීම සම්බන්ධයෙන් කණගාටුව ද පල කළේය.

තම ‘මිතුරන් ඉන්නා කර්තෘ මණ්ඩලයකින්’ යුත් මාධ්‍ය ආයතනයක් ලෙසින් ජනාධිපතිවරයා විසින් හඳුන්වන ලද ‘දිවයින’ පුවත්පතේ ප්‍රධාන ආරක්ෂක ලියුම්කරු කීර්ති වර්ණකුලසුරිය මහතා ලියා ඇති එම ප්‍රවෘත්තිය නම් නොකළ ‘ඉහළ පෙළේ ආරංචි මාර්ග’ උපුටා දක්වමින් වාර්තා කොට තිබුනේ ‘එම හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු 2017 පෙබරවාරි මස ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති’ බවයි.

මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවේ ‘යුද අධිකරණයක්’ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බව පැවසූ ජනාධිපතිවරයා, එහි එන්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මුලික අයිති වාසිකම් රැකීම වෙනුවෙන් වූ ඉල්ලීම් බව කියා සිටියේය.

ජිනීවා සහ විදුලි පුටුව :

“යුද අධිකරණයකට අපිව ගෙනියනවයි කියලා, විදුලි පුටුවකට අපිව ගෙනියනවයි කියලා එහෙම කිසිම තීන්දුවක් නෑ,” යි ඔහු කියා සිටියේය.

ඉකුත් වසරේ ජිනීවා නුවරදී සම්මත කරගත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ සඳහා වන යෝජනාවෙන් ඉල්ලා තිබුනේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට ‘විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන්, අභිචෝදකයන් සහ විමර්ශකයන්,’ ඇතුලත් ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි.

කෙසේ වෙතත්, උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීම රජයේ වගකීම බව කියා සිටි ජනාධිපතිවරයා, “විසඳුම් කියල කියන්නේ රට බෙදන එකවත්, රට කඩන එකවත්, මේ තියෙන ප්‍රශ්නේ විසඳන්න විදේශීය විනිශ්චයකාරවරු ගෙනල්ලා මෙහෙ නඩු අහන එකවත්,” නොවන බව වැඩිදුරටත් කියා සිටියේය.

 

LEAVE A REPLY