හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් කටයුතු කරන බව හලාවත එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක හිලරි ප්‍රසන්න මහතා චෝදනා කරයි.

ඊයේ(02) රාත්‍රියේ මේ වැඩසටහන සඳහා සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර මෙම පහර දීමට සම්බන්ධ තිදෙනෙකු අල්ලා පොලීසියට භාර දුන්නද ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වෙයි.

පැයකට පසු හලාවත පොලීසියට පැමිණි හලාවත එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා තමාට සහ ආධාරකරුවනට ගිනි අවි පෙන්වා පොලීසිය තුළ තර්ජනය කළ බවද හිලරි ප්‍රසන්න මහතා පවසයි.

එමෙන්ම මෙම ගැටුමින් තුවාල ලැබූ තුන් දෙනෙකු රෝහල්ගත කර සිටින අතර ඔවුන්ට පහර දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ හලාවත සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරගේ ආධාරකරුවන් පිරිසක් බව ඔහු පෙන්වා දී තිබේ.