එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී එතුමා විසින් කළ ප්‍රකාශයන් අනූව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව මනා පසු විපරමකින් ඉන්නා බව පැහැදිලිවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

සංහිඳියාව ඇති කිරීමේ කටයුත්ත එක් රැයකින් සිදු කළ නොහැකි බව, 2009 වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ සුබවාදී තත්ත්වයක් දක්නට ඇති බව, 19වැනි සංශෝධනය සිදු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පෙන්වා දුන් කරුණු ගත් කළ ඔවුන් අප පිළිබඳව පසු විපරමකින් ඉන්නා බව තහවුරු වන බව මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ.

එමෙන් ම සංහිඳියාව කරා ගමන් කිරීමේ කාර්යය ඉක්මනින් කළ නොහැකි යන මතයේ වත්මන් රජය ද පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පුළුල් දේශපාලන අවබෝධයකින් එම ගමන යාමේ කටයුතු රජය විසින් ආරම්භ කොට ඇතැයි ද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරු මීට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී රාජ්‍ය අනුග්‍රහය ඇති ව අමාත්‍යවරුන් විසින්ම විරෝධතාවන් සිදු කළ බවත්, වත්මන් රජය යටතේ එවැන්නකට කිසිඳු ඉඩ අවස්ථාවක් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම අවස්ථාවන්වලදී රජයක් ලෙසින් වගකීමකින් කටයුතු නොකළා යන්න ඔවුන් අවබෝධ කරගෙන සිටින බවත් පෙන්වා දුනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂය අත්හැරීමට ඇති අකමැත්ත පසුගිය දා පැවැති 65වැනි සංවත්සරයට පැමිණි ජන ගඟෙන් අවබෝධවන වන බවත්, සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය සමඟ සිටින බවත් මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න ඉදිරිපත් විය. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා රජයේ මතය මෙන් ම අප්‍රසාදය ද පළ කර ඇති බවත්, මේ වන විටත් ඒ සඳහා සම්බන්ධ පුද්ගලයන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඊට එරෙහිව මැලේසියානු රජය කටයුතු කරමින් පවතින බවත්ය.

 

LEAVE A REPLY