කොළඹ කොටුවේ ක‍්‍රිෂ් වෙළඳ සංකීර්ණය ඉදිකරන ඉන්දීය සමාගමේ අධ්‍යක්ෂවරයකුගෙන් කාල්ටන් රගර් තරගාවලියට අනුග‍්‍රහයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සාවද්‍ය පරිහරණයට චෝදනා ලබා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරමින් පවතින බව වාර්තා වේ.

මෙම පරීක්ෂණය සිදු කරන්නේ පා.ම. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 100ක මුදලක් ගෙවා හෙලෝ කෝප් සමාගම මිලදී ගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳව වන අතර, එහිදී එම මිලදී ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා යොදවා ඇති මුදල උපයා ගත්තේ කෙසේද යන්න ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය. බංගලාදේශයේ ඩකා නුවර පදිංචි බවට සඳහන් අහමඞ් අල් සමාෆ් නමැත්තකුට නාමල් රාජපක්ෂ ඔහුගේ එන්.ආර්. කන්සල්ටන්ට්ස් සමාගමේ රුපියල් දහයක එක් කොටසක් වූ එම සමාගමේ මුළු අයිතිය 2013 ඔක්තෝබර් 25 දින පවරා ඇත. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් නාමල් රාජපක්ෂගේ ගිණුමකට ගෙන්වාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් වූ 0.5%ක් වූ මුද්දර ගාස්තු එකල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා ඇත.

විමර්ශකයන්ට දැන් ප‍්‍රශ්නය මතුවී ඇත්තේ මෙම මුදල් ඉන්දීය ක‍්‍රිෂ් ට‍්‍රාන්ස්වර්ක්ස් සමාගමේ අධ්‍යක්ෂ ආර්.බී. ගුප්තා ගෙන් කාල්ටන් රගර් තරගාවලිය සඳහා ලබාගත් රුපියල් මිලියන 70න් කොටසක් විය හැකි බවයි. ඒ අනුව හෙලෝකෝප් සමාගම මිලදී ගැනීම වෙනුවෙන් යෙදවූ රුපියල් මිලියන 100 සඳහා ඉතිරිය වශයෙන් අවශ්‍ය වූ රුපියල් මිලියන 50ක හෝ 30ක මුදල උපයා ගත්තේ කෙසේද යන්න කියන්නට රාජපක්ෂ මහතාට සිදුවනු ඇතැයි දැනගන්නට ඇත. උපයාගත් ආකාරය ප‍්‍රකාශ කිරීමට බැරි වුවහොත් එම චෝදනා යටතේද නැවත වරක් ඔහුට නඩුවකට මුහුණ දීමට සිදුවේ.

LEAVE A REPLY