‘පක්ෂය හරි අතට’ තේමාවෙන් යුතුව සැප්තැම්බර් මස 04දා කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හැටපස්වැනි සැමරුමට ජනගඟක සහභාගිත්වයක් ප්‍රකාශිත වී ඇති බවත්, එය අපේක්ෂිත ජන සංඛ්‍යාව මෙන් දෙගුණ තෙගුණ වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී අනාවරණය විය.

සැමරුමට එක්වන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ඇණවුම් කර ඇති බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් බස් රථ දහසක් පමණ ඇණවුම් කිරීමට ද මෙහි දී යෝජනා විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) සවස පුරාහෝරා දෙකක් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීන්දුවලට එලඹුණි.

පැමිණෙන අතිවිශාල ජනතාවගේ පහසුව පිණිස අවශ්‍ය සියලු කටයුතු සූදානම් කිරීමට ද මෙහි දී යෝජනා විය.

සැමරුමට එක්වන ජනතාව වෙත එල්ල වෙන විවිධ බලපෑම් නොතකා ඔවුන් දැඩි උනන්දුවෙන් සම්මේලනයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද මෙහි දී ආසන සංවිධායකවරු පැවැසූහ.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා ද සහභාගිවිය.