ඒකාබද්ධ විපක්ෂය සහ ජාතික සංවිධාන එකමුතුව විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය වෙත සංදේශ 2ක් බාරදී තිබේ.

අද(01) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය වෙත එම සංදේශ බාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පක්ෂ නායකයින් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සංදේශය බාරදීමට කටයුතු කළ බවයි.

දශක ගණනාවක් පුරා පැවති යුද්ධයෙන් අනතුරුව සියලු දෙනාටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බව එහිදී ඒ  මහතා පැවසුවේය.

මානුෂීය මෙහෙයුමක් යටතේ ජාතික හා ජාත්‍යන්තර නීති කඩ නොකරමින් යුද්ධය නිම කළ බවත්, ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම් හා සම්මතයන් අනුව කටයුතු කළ බවත්, ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම ඒ ඔස්සේ උතුරු වසන්තය හා නැගෙනහිර උදානය යන සංවර්ධන ව්‍යාපෘතීන් මගින් උතුරේ සංවර්ධනයක් ඇති කරමින්  ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීමට කටයුතු කළ බවද ඒ මහතා පැවසුවේය.

නමුත් විවිධ අවස්ථාවලදී  දරුස්මන් වාර්තා යනාදිය ඔස්සේ යුධ අපරාධ පිළිබඳව  රජයට චෝදනා එල්ල කිරීමට ඇතැම් පාර්ශවයන් කටයුතු කළ බව බන්දුල ගුණවර්ධන මහතා එහිදී කීවේය.

මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය හරහා විවිධ පරීක්ෂණ හා සොයාබැලීම් ඔස්සේ ඉදිරිපත් කළ වාර්තාවන්ට විරෝධය පාමින් එම වාර්තා හෙළාදකින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය විසින් විවිධ අවස්ථාවලදී කටයුතු කළ බව හෙතෙම පැවසීය.

රට ආරක්ෂා කළ ආරක්ෂක අංශ නිලධාරීන් දඬුකඳේ ගැසීමට සූදානම් වන විවිධ පිරිස්වලට එරෙහිව නැගී සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම යුද සමය තුළ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 7000ක් වු පිරිස අද වන විට කිසිදු වාර්තා කිරීමකින් තොරව 40,000 දක්වා ඉහළ ගොස් ඇති බව ඒ මහතා පෙන්වාදුන්නේය.

එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට අභ්‍යන්තරයට එල්ලවන චෝදනාවලින් රට ආරක්ෂා කර දෙන ලෙස මේ මගින් ඉල්ලා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ රජයේ පාර්ශවයෙන් සිදු කරන ප්‍රකාශ කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය විසින් තැකීමක් සිදු නොකරන බවයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා අසත්‍ය ප්‍රචාර වගකීමකීමකින් තොරව පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසුවේය.

නිල වශයෙන් ඕනෑම කෙනෙකුට රට තුළ සංචාරය කළ හැකි බවත්, ඒ මගින් රට අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයය ඇඟිලි ගැසීමක් කළ නොහැකි බවත් ඔහු කීවේය.

එමෙන්ම රට අභ්‍යන්තර ප්‍රශ්න ගැටළු විසදීමට රට තුළ තිබෙන අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් බවද ඒ මහතා පැවසුවේය.

 

LEAVE A REPLY