උමා ඔය ඊනියා පරිසර ඇගයීම් වාර්තාව සකස් කිරීමට විශේෂඥයෙක් ලෙස ඉක්වෙමින් ව්‍යාජ වාර්තා ඉදිරිපත් කළ වත්මන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ශාන්ත බන්දුල මණ්ඩාවල මහතා දෝව පන්සල ඇතුළු පුරා විද්‍යා ස්මාරක නොදන්නා ප්‍ර‍මාණයක් විනාශ වන විට ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක් සිදු කර නැතැයි කැෆේ සංවිධානය චෝදනා කරයි.

පංසල් පිං කැට සීල් තබන්නට දක්වන කැපවීමේන් පංගුවක් හෝ ඉහළ ඌවේ පුරා විද්‍යාත්මක ස්ථාන උමා ඔය ඛෙදවාචකයෙන් රැක ගන්නට කැප කරන ලෙස කැෆේ සංවිධානය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

කැෆේ සංවිධානය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යොමු කළ අදාළ ලිපිය පහත පරිදි වෙයි,

—————————————————————

2017 ජූලි 14

ප්‍ර‍ශාන්ත බන්දුල මණ්ඩාවල මහතා,
අධ්‍යක්ෂ ජෙනරාල්,
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
කොළඹ 7

මහත්මාණෙනි,

උමා ඔය හේතුවෙන් බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ හා ආසන්න ප්‍රදේශයන් හි පුරාවිද්‍යා ස්මාරක, ආගමික ස්ථාන සදහා සිදුවන විනාසය සම්බන්ධයෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් උමා ඔය සම්බන්ධයෙන් 2010 නොවැම්බර් මස සිදුකල පරිසර ඇගයීම් වාර්තාවේ පුරා විද්‍යාව විශේෂඥයා ලෙස ඔබ කටයුතු කළේය. උමා ඔය විසින් සිදු වෙමින් පවතින ව්‍යසනය පිළිබද ඔබ නොදන්නේ යැයි සිතිය නොහැකිය.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සේවය කරයි.  පසුගිය දින දෙක තුල බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය (මහ පන්සල) බුදු පිළිමය ද සමග පුපුරා යමින් ඇත. පිළිමගෙය සිතුවම්, පමණක් නොව භූමිය ද පුපුරා යමින් තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍ර‍මුඛතව පුරා විද්‍යා මධ්‍යස්ථායක් වන දෝව පන්සල ඉහළ මාර්ගය ස්ථාන දෙකකින් පුපුරා ඇත.  වලගම්බා රජු ගේ ලිද යැයි සැලකෙන නියං කාලයේ දහස් ගණනකට පානීය සපයන ලිද සිදී ගොස් මාස ගණනාවකි.  ඉදිරියේ දී එලැඹෙන ඊසාන දිග මෝසම්  වැස්සෙන් දෝව ඓතිහාසික පන්සල, වලගම්බා රජු සමයේ නෙලනු ලැබූ බුදු පිළිමය සම්පූර්ණයෙන් විනාශ විය හැකි බව ද ඔබ නොදන්නේ විය නොහැකිය.

එයට අමතරව ඔබ හොදින් දන්නා පරිදි, ඇල්ල ප්‍ර‍දේශයේ රාවනා පුරාවෘත්තය හෝ පුරාණ රජ සමයේ හෝ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත, අප තවමත් නිශ්චිතව සංඛ්‍යාව නොදන්නා ස්ථාන ගණනාවක් අනතුරට පත්ව ඇත.
හානියට පත්ව ඇති අප විසින් තහවුරු කොට ගෙන ඇති හානියට පත් විහාරස්ථාන මෙසේය.

1.      වටගමුව විමලගිරි විහාරය
2.      එගොඩගම සුමනාශ්‍ර‍මය
3.      කුරුදුගොල්ල විදර්ශනාරාමය
4.      මකුල්ඇල්ල පුරාණ විහාරය
5.      හීල්ඔය පුරාණ විහාරය
6.      කිරිඔරුව ආනන්දාරාමය
7.      බණ්ඩාරවෙල පිරිවෙන
8.      බදුණුවැව පන්සල
9.      පල්ලතොට ඇල්ල පන්සල
10.  අම්පිටිය භික්ෂු ආරාමය
11.  දික්කාපිටිය මැද පන්සල
12.  දික්කාපිටිය පිරිවෙන
13.  කුරුකුදේ පන්සල
14.  දිගනතැන්න පන්සල
15.  බණ්ඩාරවෙල සුදර්ශනාරාමය

අස්ගිරි මහා විහාරයට අයත් උළුගල රජ මහා විහාරය ද මේ වන විට උමා ඔය බලපෑමෙන් විනාශයට ඌවේ වැදගත්ම සංස්කෘතික උරුමයකි.

ඔබගේ ද දායකත්වය සහිතව සකස් කළ ව්‍යාජ පරිසර ඇගයීම් වාර්තාව මත පදනම්ව ආරම්භ කරන ලද උමා ඔය, පරිසරයට දරාගත නොහැකිව ඇල්ල-බණ්ඩාරවෙල-වැලිමඩ ජන ශිෂ්ඨාචාරය ගිල ගනිමින් සිටී.   ඔබ හෝ ඔබගේ දෙපාර්තමේන්තුව මේ දක්වා අවම වශයෙන් මේ ප්‍රදේශවල සංචාරය කොට විනාශය සොයා බැලීමක් හෝ සිදු කොට නැත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් ඔබ උමාඔය විනාශයට මාවත සකසා දුන්නේය.  ඒ ගැන පැහැදිලි කරන්නට ඔබට ඇති වෘත්තීය වගකීම ඔබ විසින් පැහැර හැර ඇත. දැන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඔබ මේ විනාශය නොදැක්කා සේ ඔබගේ වෘත්තීය වගකීම පැහැර හරිමින් සිටී. මෙය ඇදහිය නොහැකි තත්වයකි.

පන්සල් පිංකැට සීල් තබමින් පුරා විද්‍යා උරුමය රකින්නට ඔබ මේ දිනවල දක්වන උත්සහය කැපවීම අප නිරීක්ෂණය කළෙමු. එයින් පංගුවක් උමා ඔයට ඛෙදවාචකයට බිළිවන ඉහළ ඌවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය සදහා ද යොදවන ලෙස කාරුණික ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය