විදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට අපේ රටේ අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිිමිකම් කඩවීම් පිලිබඳ අපට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ගෙන ඒමට සහ විදේශීය යුද අධිකරණ පිහිටුවීමට කුමන ස්ථානවල, කුමන ආකාරයෙන් අදහස් ප්‍රකාශ වුව ද තමා ජනාධිපති ධූරයේ කටයුතු කරනතාක් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (08) පස්වරුවේ පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක් වෙමිනි.

අපේ රටේ නිදහසට, ස්වාධිනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට අභියෝගයක් වන ආකාරයේ කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර කටයුත්තකට ඉඩ නොතබන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිතුම මාතෘ භූමියේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් නොපසුබටව කටයුතු කරන බවට ද මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය.

ජාතික ආරක්ෂාව ඇතුළු රටේ සියලූ කටයුතුවලදී ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම යටතේ කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද පැවසූ ජනාධිපතිතුමා බෞද්ධයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයා ලෙස රටේ අභිමානවත් ඉතිහාසයට ගරු කරමින් ශ්‍රී ලාංකීක සමාජයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බවද අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පෝෂණය කිරීමට කැපවන බවට ද ජනාධිපතිතුමා මෙහිදී මහා සංඝතරත්නය ඉදිරියේ සහතික විය.

අද සිට ජූලි 16 වනදා දක්වා පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මය සිදු කෙරේ.

පානදුර, ගොරකපොල විද්‍යාරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පුණ්‍යෝතසවය පැවැත්වෙන අතර අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති හිමියන් බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති උපසම්පදා පූණ්‍ය මහෝත්සවය සඳහා එක්වූ අතර උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා වෙත සහතික පත් ප්‍රදානය සහ ගෞරව සම්මාන උපාධි ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

චීන හිමිනමක් වන ෂීන් ෂෙන්ග් ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ විසින් “රාමඤ්ඤ වංශය” සහ “පටිපදා” සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. උපසම්පදා විනය කර්මයේදී භාවිතා කරනු ලබන විජිණිපත ජනාධිපතිතුමා අතින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමින් වහන්සේ වෙත පූජා කෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය දොරණගොඩ විජිතසේන අනුනායක ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය වරාගොඩ පේමරතන අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද විදේශීය තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

 

LEAVE A REPLY