කසළ ඉන්ධන බවට පත් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් යෝජනා කර ඇති බවත්, එම ව්‍යාපෘති අනුමත කර තිබෙන අතර ඉදිරි මාස දෙක ඇතුළත ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් එය අහෝසි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වසර එකහමාරක හෝ දෙකක පමණ කාලයක් ගත වන බවද අගමැතිවරයා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ආරම්භ වූ ‘කොළඹ ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය සහ සල්පිල’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.
දශක එකහමාරක් හෝ දෙකක් තිබූ කුණු ප්‍රශ්නය බොහෝ ආණ්ඩු විසින් යටපත් කෙරුණු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුවක දී මේ පිළිබඳව සාකච්ඡා කර ප්‍රශ්නය එකවර විසදිය හැකි නම් විසඳුමක් ලබාදීමට තීරණය කළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් කිසිදු ගැටළුවක් පැය 24 න් විසඳීමට හැකියාවක් නොමැති  අතර විසඳුම් සාකච්ඡා කොට ලබාගත යුතුව තිබු බවත්, වර්තමානයේ එම විසඳුම් ක්‍රියාත්මක වන බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.