ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ සාවද්‍ය වාර්තා පදනම් කරගෙන තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල්ට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 05ක මුදලක් (රුපියල් මිලියන 72ක්) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. යට සිදු වෙයි.

එමෙන්ම සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරයද ඉවත් කර තහනම් කිරීමට අයි.සී.සී ය තීරණයකර තිබේ.

තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට 2015 වසරේ දෙසැම්බර් මාසයේ සිට එම තාවකාලික තරඟ තහනමක් පනවා තිබුණි.

නමුත් තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවූ චෝදනාවන්ගෙන් පසුගිය දා කුසල් ජනිත් පෙරේරා නිදහස් වූ  අතර ජාත්‍යන්තර තරග සඳහා පැවති තහනමද ඉවත්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුනි.

ඒ අනුව ඔහුට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා සහභාගීවීමේ අවස්ථාව හිමිවෙත්ම ඔහුගේ බී සාම්පල පරීක්ෂණ‍යේදී අදාළ චෝදනාවෙන්  නිදහස් වී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය  අදාළ නිවේදනයෙන් පෙන්වා දීමෙන් අනතුරුව ඔහු ඉන් නිදහස් විය.

ඒ අනුව වහාම ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට නිදහස පවතින බව අදාළ නිවේදනයේ පෙන්වා දුනි.

කෙසේවෙතත් මෙම තරඟ තහනම පැනවීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට පසුගිය නවසීලන්ත සහ ඉන්දියානු සංචාර අහිමි වූ අතර 20යි 20 ආසියානු සහ ලෝක කුසලාන තරගාවලිද අහිමිවිය.