ආබාධයකට ලක් වුනු වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් වෙනුවට එංගලන්තයට කැඳවීමට නියමිත කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මීළඟ ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරන බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.

කුසල් ජනිත් පෙරේරාට තවමත් වීසා බලපත්‍රය ලැබී නැති බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක, ඉක්මනින්ම වීසා බලපත් ලැබුනත් මීළඟ තරඟය සඳහා සූදානම් වීමට ඔහුට ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් පැවසීය.

“ලංකාවේ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ල එක පාර මෙහේ ගහන්න අමාරුයි. දැන් අපිත් ඇවිල්ල සුමාන දෙකක් ඒත් තාම ක්‍රීඩකයෝ පුරුදු වෙන්න හදනවා මේ කාලගුණයටයි, තණනිල්ල හැසිරෙන විදියටයි,” ඔහු පැවසීය.

තහනම් උත්තේජක

තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාවක් මත තාවකාලික තහනමකට ලක්වීමට ප්‍රථම කණ්ඩායමේ ස්ථිර කඩුලු රකින්නා වූයේ ඔහුයි.

ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කටාර්හි පිහිටි විද්‍යාගාරය ලබා දුන් ප්‍රතිඵල දෝෂ සහගත බව පිළිගනිමින් අයිසීසී ජගත් පාලක මණ්ඩලය මෑතදී ඔහුගේ තහනම ඉවත් කළේය.

“කුසල් අද ලංකාවෙන් ඇවිල්ල හෙට එංගලන්තෙට ආවොත් බ්‍රහස්පතින්දට කොහොමටත් ගහන්න බෑ,” චරිත් සේනානායක සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

“මම දන්න විදියට කුසල් කොහොමටවත් දෙවෙනි තරඟයට සහභාගි වෙන්නේ නෑ.”

එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරඟයේදී ආබාධයකට ලක් වූ ධම්මික ප්‍රසාද් ලීඩ්ස්හි පැවති පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකළ අතර, ශ්‍රී ලංකාව එම තරඟයේදී ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 88 කින් පරාජයට පත් විය.

LEAVE A REPLY