ආධාර පාර්සල්වලින් ලේබල් බෑගය සහ ලිපිය වහාම ඉවත් කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ට දන්වයි

පරිත්‍යාශීලීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බාරදෙන භාණ්ඩ ස්වදේශ කටයුතු යැයි සඳහන් ලේබල් යටතේ බෙදාහරිමින් තිබෙන බව කැෆේ සංවිධානය චෝදනා කරයි.

මීට අමතරව භාණ්ඩ බෙදාහැරීමේදී නිලධාරීන්ට ‘ස්වදේශ සේවා’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් අන්දවා අදාළ භාණ්ඩ බෙදාදීමට කටයුතු කරන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ස්වෙච්ඡා සංවිධාන, පුරවැසි සංවිධාන සහ ආගමික සංවිධාන ආපදාවන්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමට කළහැකි සෑම දෙයක්ම සිදුකර ඇති බවද ඔහු පවසා සිටියේය.

එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් දක්වා සහන සැලසීමේ යාන්ත්‍රණය හිමි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දේශපාලන වාසි ලබාගැනීමේ ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවන් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ටීෂර්ට්වලට අමතරව සහනාධාර බෙදාහැරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාශයේ නම සඳහන් සහන මල්ලක්ද මුද්‍රණය කර තිබූ අතර, එම කටයුතු සඳහා රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය වී ඇතැයිද  වාර්තා වෙයි.

තවද ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ නමින් යුතු පණිවුඩයක්ද මුද්‍රණය කොට අදාළ සහනාධාර තොග මල්ලේ බහා තිබූ අතර, එම ආධාර ඇමතිවරයාගේ මූලිකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බෙදාහරින බව‍ට එම පණිවුඩය මගින් කියවෙයි.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ පරිත්‍යාගශීලීන් විසින් එකතු කර බාරදෙන ලද සහනාධාර අමාත්‍යාංශයේ සහ සිය නාමය ඉස්මතු වන ආකාරයෙන් බෙදාහැරීම හරහා ඇමතිවරයා දේශපාලන වාසි ලබාගැනීමේ පටු උත්සාහයක නිරතව ඇති බවයි.

එමෙන්ම ‘ස්වදේශ කටයුතු’ නමින් ටී ෂර්ට්, සහන මලු සහ පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් යොදවා ඇත්තේ කාගේ ගිණුමකින්දැයි ප්‍රශ්න කරන ජනතාව මෙවැනි ආපදා තත්ත්වයකදී එවැනි නිශ්ඵල ක්‍රියාවකට මෙතරම් මුදලක් වියදම් කිරීම නාස්තිකාර ක්‍රියාවක් බවද පෙන්වා දෙති.

එමෙන්ම මේ සඳහා යොදවා ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල්ද? නොඑසේ නම් සහනාධාර සඳහා ලැබුණු මුදල්දැයි විමසා සිටින ජනතාව ඒ පිළිබඳ අමාත්‍යවරයා විසින් රටට හෙළිකළ යුතු බවද අවධාරණය කරති.

මේ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම සඳහන් වූ ලිපියක් සහිතව බෑගයක බහාලමින් ගාල්ල දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමට යවා ඇති ආධාර පාර්සල්වලින් එම බෑගය සහ ලිපිය වහාම ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (04දා) දුරකථනයෙන් දන්වා ඇතැයිද වාර්තාවේ.

ජනතාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවට ලබාදී ඇති අධාර පාර්සල්වලට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම සඳහන් බෑග්වල අසුරා ග්‍රාමනිලධාරී කාර්යාලවලට යවා තිබෙන බවත්,මෙම පාර්සල්වලට අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක්ද බහා තිබෙන බවත් නෙළුව ආපදා සහන කමිටු රැස්වීමේදී ජනතාව විසින් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

අනුරාධපුරයෙන් එවූ අධාර පාර්සල්ද ‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සුළු තිළිණයක්’ මැයෙන් සඳහන් ලිපියක් සහිත බෑග්වල දමා බෙදාදී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයිනේ කිසිදු ස්ථානයක දේශපාලන වාසි වෙනුවෙන් මේ ආකාරයට අධාර පාර්සල් බෙදානොහරින ලෙසද පවසා සිටියේය.

නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද නෙළුව ආපදා සහන කමිටුවට එක්ව සිටියේය.

ආපදා කළමණාකරනය සඳහා ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් 24දෙනෙකු පත්කෙරුණු අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනයේ කටයුතු පවරා ඇත්තේ දුමින්ද දිසානායක ඇමතිවරයාටය.