දිවයින පුරා සියලූ පළාත්වල පවතින ගුරු හිඟයට ඉදිරි වසර දෙක තුළ ස්ථීර සාර විසඳුමක් ලබාදෙන බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (04) පෙරවරුවේ වැලිගම නගර ශාලාවේ පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිලිබඳ සොයා බැලීම උදෙසා ජනාධිපතිතුමා විසින් කැඳවා තිබූ මෙම රැස්වීමට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

දිස්ත්‍රික්කයේ වාරි මාර්ග, ජල සම්පාදන, මහා මාර්ග සංවර්ධන, සෞඛ්‍ය, අධ්‍යාපන, ධීවර, විදුලිය, නිවාස ඇතුළු සියලූ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ එහිදී මතුව ඇති ගැටලූ පිලිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන අනවසර කුඹුරු ඉඩම් ගොඩකිරීම පිලිබඳව ද විශේෂ අවධානය යොමු කෙරිණි. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඉඩම් ගොඩ කිරීමට ඉඩ නොතැබීම පිලිබඳ රජය දැඩි ස්ථාවරයක කටයුතු කරන අවධියක දිස්ත්‍රික්කයේ එවැනි කුඹුරු ගොඩකිරීම් සිදුවනවානම් ඒ පිලිබඳ සම්පූර්ණයෙන්ම ගොවිජන සේවා අධිකාරිය වගකිවයුතු බවයි.

නිල්වලා ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මතුව ඇති ගැටලූ පිලිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුළු සියලූ අංශ සමඟ සාකච්ඡා කර ඊට කඩිනම් විසදුම් සොයන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නිල්වලා ගඟ දෙපස රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කිරීම පිලිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මාතර හක්මන මාර්ගය පුළුල් කිරීම සහ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබඳව ද සාකච්ඡා විය. දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී වන සංරක්ෂණයට හානි නොවන අයුරින් එම කටයුතු සිදු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

විශේෂයෙන්ම මාර්ග සංවර්ධන කටයුතුවල දි අදාළ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර විධිමත් සැලසුම් ඔස්සේ එම කටයුතු ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

දෙනියාය මූලික රෝහල සංවර්ධනය කිරිම පිලිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඒ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී එහි අඩු පාඩු කඩිනමින් සපුරා දෙන ලෙසයි.

කොටවිල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම සහ මාතර ගඟ බඩ උද්‍යාන සංවර්ධන කටයුතු පිලිබඳව ද සාකච්ඡා විය.

කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හේතුවෙන් සිදුවන පරිසර විනාශය පිලිබඳව ද මෙහිදී කරුණු අනාවරණය කෙරුණු අතර ඒ පිලිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු පිලිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර මාතර දිස්ත්‍රික්කය තුළ ග්‍රාම සේවා කොට්ඨාස විශාල ප්‍රමාණයක් තිබීම හේතුවෙන් පරිපාලන කටයුතුවලදි මතුව ඇති ගැටලූ සැළකිල්ලට ගනිමින් මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ කැනඳුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට වෙන් කිරීම පිලිබඳව ද සාකච්ඡාවට ලක් විය.

මාතර දිස්ත්‍රික්කය සියලූ අංශවලින් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන් සියලූදෙනාගේ සහය ඇතිව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සාගල රත්නායක, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මාතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද මීට එක්ව සිටියහ.

LEAVE A REPLY