දීප ව්‍යාප්ත පාසල්වල පවතින ගුරු හිඟය පියවීම සදහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම හා ගුරු මාරු වීම් වලදී ස්වාධීන ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පළාත් ප්‍රධාන අමාත්‍යවරු සමඟ පැවති සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පළාත් වශයෙන් පවතින ගුරු හිඟයට විසදුම් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්කර තිබෙන අතර උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද කරුණු විමසා තිබේ.

නියමිත පරිදි සෑම වසරකම අයදුම්පත් කැඳවා අදාළ විභාග පවත්වමින් පරිපාලනයට නවක නිලධාරීන් බඳවා ගැනීමට අඛණ්ඩව කටයුතු කරන ලෙසත් ජනාධිපති තුමා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද මෙහිදී පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු ඇතුළු අනෙකුත් අඩුපාඩු සම්බන්ධයෙන්ද අවධානයට ලක්විය.

මෙම හමුවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ද, සියලු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ද මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ලේකම්වරුන්ද එක්වී සිටියහ.