මේ දිනවල දේශපාලන තලයේ උණුසුම්ම මාතෘකාව වී ඇත්තේ මහබැංකු අධිපතිය. රටේ බැංකුකරුවන්ගේ සිට බුලත්විට වෙළෙන්දා දක්වා ද සිවිල් සමාජ බලවේග සියල්ලම නැතහොත් අති බහුතරයක් ද විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් පමණක් නොව ආණ්ඩුවේ ප‍්‍රමුඛ දේශපාලන චරිත හා බලවේගයන් ද එකිනෙකා පරයමින් අද කතාකරන්නේ මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ගැනය.

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන මේ ආකාරයට මුළු මහත් සමාජයම කතාකරන්නේ ඔහු මහබැංකුවේ අධිපතිධුරයට පත්වීමෙන් පසු තම සේවා කාලය තුළ නිකුත් කර ඇති භාණ්ඩාගාර බැදුම්කරයන් දෙකක් හේතුකරගෙනය. සාමාන්‍යයෙන් මහබැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බැදුම්කර පිළිබඳව ඇතැම් විට සමාජයේ තුළ කසුකුසු හා විවේචන එල්ල වන අවස්ථා ඇතත් වර්තමානයේ මෙන් දැවැන්ත සමාජ අවධානයක් යොමු වී නොමැත. ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව මේ ආකාරයට සමාජ බලවේග පෙලගැසී ඇත්තේ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී ඔහුගේ බෑණා කෙනෙකුට අයත් ආයතනයකට වාසි සැලසෙන අයුරින් මහබැංකු අධිපතිවරයා ක‍්‍රියාකර ඇති බවට චෝදනා කරමිනි.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව හතර අතින් එල්ල වන චෝදනාවන්ට අනුව ඔහු තම බෑණා කෙනෙකුගේ සමාගමකට අධික ලාභයක් ලබාගැනීමට හැකිවන ආකාරයට මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබාදී ඇත්නම් හෝ අදාළ ගනුදෙණු වලදී සුවිශේෂි ලාභයක් ඉලක්ක කරගනිමින් තම බෑනා වෙත සහයක් ලබා දී ඇත්නම් එය අනිවාර්යෙන්ම බලවත් වරදකි. එහෙත් ඔහුට එල්ල වී ඇති චෝදනාවන් පිළිබඳව මේ වනතෙක් නිසි විමර්ශනයක් සිදුකර ඔහු එයට වරදකරු හෝ නිවැරදිකරු බවට තීන්දුවක් ලබා දී නොමැත. ඒ නිසා එක් අතකින් ඔහු වරදකරුවෙකු ලෙස හංවඩු ගසා ඳගගෙයි ලෑමට ද කිසිවෙකුට හැකියාවක් නැත.

එහෙත් ඔහුට එරෙහිව එල්ල වන චෝදනාවන් තුළ බැලූ බැල්මට දිස්වන සදාචාරාත්මක ගැටලූවක් ඇත. එමෙන්ම අදාළ චෝදනා එල්ලකරන පාර්ශවයන් ඒ පිළිබඳ ගෙනහැර දක්වන කරුණු කාරණා ද සැලකිල්ලට ගැනීමේදී ඒවා පහසුවෙන් බැහැර කළ නොහැකිය. එහිදී විශේෂයෙන්ම සැලකිල්ලට ගතයුතු කාරණය වන්නේ අද වනවිට මහබැංකු අධිපතිවරයා මුල්කරගනිමින් යහපාලන ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා නැගී සිටින්නේ ජනවාරි 8 විප්ලවය සඳහා මූලිකත්වයක් හා මහත් දායකත්වයක් සපයන ලද බලවේගයන් විසින් වීම නිසාය.

අනෙක් අතට යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු ඇතුළු දේශපාලන බලවේග විසින් මෙම කරුණට අදාළව සිදුකරමින් පවත්නා සංවාදය තුළ ද විශේෂයෙන්ම රජයේ ප‍්‍රමුඛ අමාත්‍යවරුන්ද ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප‍්‍රමුඛතම හවුල්කරුවෙකු වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව ගෙන ඇති තීන්දු තීරණයන් හේතුවෙන්ද මහබැංකු අධිපතිවරයාගේ ප‍්‍රශ්නය ආණ්ඩුව තුළ බලවත් උගතෝකෝටිකයක් නිර්මාණය කර තිබේ.

එමෙන්ම මේ මසයේ අවසානයත් සමගම මහබැංකු අධිපතිවරයාගේ ධුර කාලය ද අවසන් වීමට නියමිතය. ප‍්‍රශ්නය වන්නේ අර්ජුන මහෙන්ද්‍රන් මහතා නැවත වරක් මහබැංකුවේ අධිපති ලෙස පත්කරගන්නේ ද යන කරුණ මතය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එරෙහිව අවි අමෝරන සිවිල් සමාජ බලවේග හා දේශපාලන බලවේගයන් කොතරම් තිබියදීත් ඔහු වෙනුවෙන් පෙනී සිටින බලවත් කණ්ඩායමක් ද ආණ්ඩුව තුළම කටයුතු කරන බවද සත්‍යයකි. ඒ අනුව දෙපැත්තයට බලවත් හේතූන් ද බරපතළ තර්ක ද තිබේ.

ඒ සියල්ල පිළිබ`දව සලකා බලනවිට අදාළ චෝදනා විමර්ශනය කර තීන්දු තීරණ ගන්නා තුරු මහබැංකුවේ අධිපතිවරයාගේ පත්කිරීම ද කල්මැරිය නොහැකිය. ඒ අනුව මේ වනවිට සලකා බැලිය යුත්තේ එකම එක කරුණක් පමණය. එනම් මහබැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා විමර්ශනයකින් පසු ඇතැම් විට ඔහු නිවැරදිකරුවෙකු වියහැකි වුවද මේ වනවිට ඔහුට එරෙහිව නැගී ඇති චෝදනාවේ බරපතළකම හා ගොඩනැගී ඇති සමාජ මතය නොසලකා තීන්දු ගැනීම ද අතිශයින්ම අනතුරුදායක වියහැකි බවයි.

දැවැන්ත ලෙස සමාජගතව ඇති මතවාද නොසලකා හරිමින් ලබාදෙන පිළිතුරක් කොතරම් යුක්ති සහගත වියහැකි වුවත් එය අවසානයේ ප‍්‍රායෝගික නොවන්නේ නම් ඉන් ඇතිවන ප‍්‍රතිඵලය සමාජයක් ලෙසද පොදුවේ රටක් ලෙසටද බලවත් විනාශයක් ගෙනදිය හැකිව තිබේ. එබැවින් ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී යන කියමනෙහි ගැඹුරු අරුත තේරුම් ගනිමින් නිසි හා යථාර්ථවාදී පිළිතුරක් සොයාගැනීමේ අභියෝගය රට අභිමුවෙහි ඇත.

සුනිල් ජයසේකර