රැළියක් සාර්ථකද අසාර්ථකද යන්න මැනිය හැක්කේ අතේ කරගැටවලින් වත්, උගුර ලේ රහ වෙනකල් කෑගැසීමෙන් වත්‍ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රැළියක සාර්ථකභාවය මැනිය හැක්කේ ඊට ලැබෙන ජනතා සහයෝගයෙන් බවත්,  ඒ අනුව රත්නපුර රැළියට ජනතා සහයෝගය උපරිමයෙන් ලැබුණු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊයේ (10)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටි අතර ඉදිරි මැතිවරණයකට කිසිසේත්ම මෛත්‍රීගේ නායකත්වයෙන් ඉදිරිපත් නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නැවුම් සන්ධානයකින් තරඟ කරන බවත් අවධාරණය කළේය.

මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ වැඩක් බවත්,සන්ධානය බිහි කිරීම තමන්ගේ වැඩක් බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ආණ්ඩුව විසින් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සන්ධානය එළියට එනු ඇති බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මොන්ටිසෝරි යමපාලන බබාලා එකතු වෙලා අතිවිශිෂ්ට තුන් වන අවස්ථාවටත් වැට් බදු පනත් කෙටුම්පත ඇණ ගෙන තිබෙනවා.  පසුගිය දෙවතාවේ සිදු කළ වැරදි නිවැරදි කර ගෙන තිබුණත් අලුත් වැරදි කරලා තිබුණා.  ඒ නිසා මෙම වැට් බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඈ), 12(1) සහ 12(2) සහ 14(1)(උ)
යන වගන්ති වලට පටහැනි බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

නිදසුනක් ලෙස ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය.  ඒ අනුව ජනතාව යම් වර්ගීකරණයක් කරනවා නම් ඒක තාර්කික විද්‍යාත්මක පදනමක් සිට කළේ නැති නම් මේ වගන්තියට පටහැනි වෙනවා.  දැන් වැට් පනතේ වකුගඩු රෝගින්ගේ පාරවිලනය නැතිනම් ඩයලිසිස් කිරීම වැට් බද්දෙන් නිදහස්.  නමුත් අනෙකුත් පාරවිලනයන් එහෙම නෑ.  බාහිර රෝගීන් වැට් බද්දෙන් නිදහස්.  නමුත් නේවාසික රෝගීන් වැට් බද්දට යටත්.

මෙවැනි අතාර්කික වර්ගීකරණයකට 12(1) වගන්තියෙන් ඉඩක් නෑ. මැයි 02 සිට ජූලි 11 දක්වා ආණ්ඩුව නීති විරෝධිව එකතු කරපු වැට් බද්ද මේ පනතෙන් නීත්‍යනුකූල කරන්න උත්සාහ දරලා තිබෙනවා.  පාර්ලිමේන්තුවට අතීතයට බලපාන්න නීති හදන්න පුළුවන්.  නමුත් අතීතයේ නීති විරෝධි ක්‍රියාවක් දැන් නීත්‍යනුකූල කරන්න බෑ.

මා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටිනවා.  මේ පනත 3 වන වගන්තියට පටහැනි බවට තීරණය වුණොත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි.  4, 12 හෝ 14 වගන්තියකට පටහැනි බව තීරණය වුණොත් තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්.
මෙම කෙටුම්පතේ පසුගිය වතාවේ වගේම පටිපාටිමය දෝෂයක් තිබෙනවා.  ඒ නිසා නිසි පරිදි සැකසූ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.  එසේ කළොත් නැවත මුල සිටම හතර වන වතාවටත් ඉදිරිපත් කරන්න වේවි.  ඒ පටිපාටිමය දෝෂය මාධ්‍ය හමුවේ දී හෙළිකරලා මගේ නඩුව දුර්වල කර ගන්න මා කැමති නෑ.  ඒක අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්
විභාගය සිදු කරන දවසේ දී කරන්නම්.  දැනට ඒක රටක් වටින වැට් රහසක්.

මේ කිසිම දෙයක් නොවුණත් දැනටමත් ජනතාව දිනලා ඉවරයි.ඔක්තෝම්බර් 18 දා විවාද කරලා වැට් පනත සම්මත කරන්න තමයි ආණ්ඩුව බලාපොරොත්තු වුණේ.  නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එන තුරු පාර්ලිමේන්තුවට වැට් පනත විවාද කරන්න බෑ.රටේ සංහිඳියාවයාව ගොඩ නඟන්න තිබෙන්න බාධාව ඥාණසාර හාමුදුරුවන්, විමල්
වීරවංශ මන්ත්‍රීතුමා සහ මමලු.  අපි තුන් දෙනා හිරේ දමන තුරු සංහිඳියාව ගොඩ නගන්න බෑ කියලා උතුරු පළාත් සභාවේ මන්ත්‍රී සී මයුරන් ප්‍රකාශ කරලා තිබ්බා.  අනේ අපි නම් සංහිඳියාවට කිසිම බාධාවක් කළේ නෑ.  ආණ්ඩුව මාස විස්සක් තටමලා සංහිඳියා වැඩසටහනක් හදා ගත්තා.  ඒක හැදුවේ චන්ද්‍රිකා නෝනා නායකත්වය දෙන
සංහිඳියා කාර්යාලයෙන්.  ඒක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපතිතුමා. නමුත් මනෝ ගනේෂන් ඇමතිතුමාගේ විරෝධය නිසා ඒ ඇමති මණ්ඩල පත්‍රිකාව සම්මත කර ගන්න ජනාධිපතිට බැරි වුණා.  තමන්ගේ අමාත්‍යංශයට චන්ද්‍රිකා නෝනා ඇඟිලි ගහනවා කියා ගනේෂන්න ඇමතිතුමාගෙන් පැමිණිලි.  මේ දෙන්නාගේ ගැටුම නිසා තමයි ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ ඇණ හිටලා තිබෙන්නේ.  ජනපතියි අගමැතියි එකතු
වෙලා රටේ සංහිඳියාව හදන්න කලින් සංහිඳියා ලොක්කයි ලොක්කියි අතරේ සංහිඳියාව හදන්න ඕනෑ.  සංහිඳියාවට බාධා කරන අය අත්අඩංගුවට ගන්න ඕනෑ නම් ගත යුත්තේ අපව නොවේ.  සංහිඳියාවට රණ්ඩු කරන චන්ද්‍රිකා නෝනා  සහ ගනේෂන් ඇමතිතුමා.