පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජයට කිසිදු උවමනාවක් නැති බව පා.ම මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

මැතිවරණය කල්දැමීමට එම කොමිසමේ සභාපතිවරයා ද හවුල් බවත්, ඔහු කටයුතු කරන්නේද ආණ්ඩුවේ අවශ්‍යතාවය පරිදි බවත්, හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

මේ අතර වකුගඩු රෝගයට මුවාවී පොහොර සහනාධාරය ද කප්පාදු කළ නිසා ගොවීන් අසරණ වී සිටින බවත්, ලූනූ මිල පහත වැටීම නිසා එම ගොවීන්ද අසරණ වී ඇති බවත්, මන්ත්‍රීවරයා කියා සිටියේය.

තවද සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ආගමික ස්ථානවලට හානි කිරීම, මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීම වැනි සිද්ධීන්වලදී ආණ්ඩුව නිසි පියවරක් නොගත් බවද හෙතෙම චෝදනා කළේය.

රැකියා දසලක්ෂයක් මෙන්ම, වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම ගැන ආණ්ඩුව කියූ නමුත් මේ දක්වා ඒ කිසිවක් සිදුව නැති බවත්, එම මාධ්‍ය හමුවට එක්වූ විජිත බේරුගොඩ මහතා පැවසීය.

 

LEAVE A REPLY