පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු රණවිරුවන්ට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් ගෝථාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන් පිළිබදව දැක්වූ අදහස දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වී තිබේ.

පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු අධිකරණයට ගෙන ගිය ක්‍රමවේදය පිලිබඳව සිය දැඩි අප්‍රසාදය එහිදී ජනාධිපතිවරයා විසින් පළ කලා. නමුත් එහි සැබෑ අර්ථය නම් නඩු විමසා දඩුවම් ලබාදීමට තරම් සාක්ශි සහිත යම් යම් චෝදනා තිබියදී ඒවා ගැන නිසි පරීක්ෂණ නොකර ලෙහෙසියෙන්ම නීතියෙන් ගැලවී යා හැකි චෝදනාවන් එල්ල කිරීම හා නඩු කටයුතු අවසන් කිරීම සදහා දිර්ඝ කාලයක් ගැනීම නිසා වැරදි කරුවන් වුවද නිවැරදිකරුවන් ලෙස සමාජ ගත වන නිසා ජනාධිපතිවරයා එම ක්‍රියාදාමයට දැඩි ලෙස විරුද්ධ වීමයි. දිගින් දිගටම මෙසේ පරීක්ෂණ කටයුතු ඇල්මැරුනු ස්භාවයකින් ඇදි ඇදී යාම නිසා එහි වරද ජනාධිපතිවරයා වෙත එල්ල වීම මෙම ප්‍රකාශය කිරීමට හේතු වී තිබේ.

කිසිදු විටකවත් ස්වාධීන පරීක්ෂණ කොමිසන් සභාවලට හෝ අධිකරණ වල කටයුතු වලට ජනාධිපතිවරයා විසින් බලපෑම් නොකරන තත්වයක් යටතේ එම ආයතන විසින් කාර්යක්ෂම ලෙස රාජකාරි කරනු ඇති බවට සහ කිසිදු දේශපාලන න්‍යායපත්‍රයකට අනුව කටයුතු නොකරනු ඇති බවට වූ ජනාධිපතිවරයා තුලවූ විශ්වාසය දැන් කඩවී ඇත. එසේම එම ආයතන පිළිබද වූ ජනතා විශ්වාසයද දැන් කඩ වෙමින් පවතී. එම ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබදව අවසාන වගකියන්නා වනුයේ ජනාධිපතිවරයාය. මේ තත්වය මත තවදුරටත් මෙම ආයතන පිළිබද නොසලකා හැරීම එම ආයතන වල මෙන්ම රජයේද පැවැත්මට හිතකර නොවන බවට තීරණය කිරීමෙන් පසුව ජනාධිපතිතුමන් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

කෙසේ වුවද මේ වන විට එජාප සහ විමල් වීරවංශගේ මෙන්ම ජවිපේ මඩ බලකායන් විසින් ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් විශාල මඩ ප්‍රචාරයන් රැසක් සිදුකරමින් පවති. සංහිදියා ආණ්ඩුවේ පැවැත්මට හානි වන අයුරින් ජනාධිපතිවරයාට පදනම් විරහිතව මඩ ගැසීම් කරන ආණ්ඩුවේම පාර්ශවයන් නුදුරේදීම ආන්ඩුවෙන් එලියට විසි කිරීමටද කටයුතු සූදානම් වෙමින් පවතී.

තමන් විසින් ජීවිත අවධානමකින් යුතුව ජනතාව වෙත දිනා දුන් ජනවාරි 8 ජයග්‍රහණය හෑල්ලුවට ලක්වන සහ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් විනාශ වන කිසිදු ක්‍රියාවලියක කවර හෝ කොටස් කරුවකු වීමට තමන් සූදානම් නැතිබව ජනාධිපතිවරයා ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදීද ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයාගේද මතය බවට අද සවස එජාප මහලේකම් කෑගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කරන ලද බව මීට සුලු මොහොතකට පෙර මාධ්‍ය වාර්තා කලා.