මොරගහකන්ද ජලාශයෙන් ජලය අක්කර අඩි 45000ක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16)වන විට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.

මෙම ජලය අඹන්ගඟ ඔස්සේ ඇලහැර, මින්නේරිය, කව්ඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ යලකන්නයේ වගාකටයුතු සඳහා මුදාහළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි.

මේ දිනවල පවතින දැඩි පෑවිල්ල සහිත තත්වය නිසා යල් කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය හිඟකමින් ගොවීන් රැසක් පීඩා විඳිමින් සිටින අතර ඔවුන්ගේ වගාබිම් අවශ්‍ය ජලය නොමැතිව හානි වෙමින් පවතින තත්වයක් තුල ඒ පිළිබඳව අවධානය යොමුකළ ගරු ජනාධිපතිතුමන් මේ ගන්නා ලද තීරණය ගොවි ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ජලය පිරවීම සඳහා පරීක්ෂණ මට්ටමේ පවතින මොරගහ කන්ද ජලාශය මේ වනවිට එහි ඉදි කිරීම් වල අවසන් අදියරේ පසුවනවා. රුපියල් කෝටි 18,100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩද අවසන් වීමත් සමග විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි.