මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිටින සියලූ උපදේශකයන් අතුරින් මා දන්නේ ශිරාල් ලක්තිලකත්, මලිත් ජයතිලකත් පමණය. ජනාධිපතිවරයාගේ සියලූ උපදේශකයන් අතුරින් ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන් මග කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන පුද්ගලයා බවට පත්ව සිටිනුයේ මලිත්ය.

ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. ඉන්පසු දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සඳහා එම්ඒ උපාධියක් ලබාගත්තෙකි. අලිමංකඩ හමුදා කඳවුර ශ‍්‍රී ලංකා හමුදාවන්ට අහිමි කිරීමට හේතුවූ එල්ටීටීඊ මෙහෙයුම ගැන පොතක් ලියා පළකර තිබෙන ග‍්‍රන්ථ කතුවරයෙකි. ජනාධිපතිවරණයට පෙර ඇමති ඩලස් අලහප්පෙරුම යටතේ පැවති අමාත්‍යාංශයට අයත්ව තිබූ ආයතනයක සභාපති ධුරය හෙබවීය. ඔහු මා සමග කියා තිබෙන ආකාරයට රාජපක්ෂ ආණ්ඩුව පාවිච්චි කළ ‘ආසියාවේ ආශ්චර්යය’ යන උදාන පාඨය ඔහුගේ නිර්මාණයකි. රාජපක්ෂ පාලනයේ අවසාන කාලයේදී රාජපක්ෂ ජනාධිපතිවරයාට සුළු ජාතීන්ගේ ඡුන්ද නොලැබෙන නිසා ජනාධිපතිවරණය ජයගැනීමට පහසු නැතැයි කියන අදහස ඇති කරන විද්‍යුත් විශ්ලේෂණයක් ඔහු සකස් කළේය. එය මැතිවරණ ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් සකස් කරන ලද විශ්ලේෂණයක් විය. ඔහු මට කියා තිබෙන පරිදි ඔහු එම විශ්ලේෂණය සකස් කළේ රාජපක්ෂ ජනාධිපතිවරයා දුෂ්කර තත්ත්වයකට පත්කිරීමේ අරමුණකින් නොව තිබෙන යථාර්ථය ජනාධිපතිවරයාට තේරුම් කරදීමට අවශ්‍ය වූ නිසාය. එහෙත් ඔහුට එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇමතිවරයා අවස්ථාවක් ලබා දුන්නේ නැත.

එහෙත් එම වැඩසටහන ඔහු ආණ්ඩුවේ වෙනත් ඇමතිවරුන්ට දකින්නට සැලැස්වූවේය. ඔහු කියන ලද ආකාරයට හෙළ උරුමයේ නායකයන් රාජපක්ෂ ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයේදී පරාජය වනු ඇතැයි කියන අදහස ඇතිකර ගත්තේ එම වැඩසටහනේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එහෙත් ඔහුගේ මෙම වැඩසටහන ගැන ජනාධිපතිවරයාට දැනගන්නට ලැබී ජනාධිපතිවරයා ඔහු පිළිබඳ කෝපයක් ඇති කරගෙන සිටියේය. ජනාධිපතිවරයා ඉන්නේ ඔහු පිළිබඳව ඇති කරගත් කෝපයකින් නම් තවදුරටත් ඔහු දරන තනතුරේ ඉඳීම සුදුසු නැති බව ඔහුට කීවේ මාය. ඔහු මගේ කීම පිළිගෙන තනතුරෙන් ඉවත් වූ දිනම මා හමුවන්නට රාවය කාර්යාලයට පැමිණියේය.

ඔහුට ඒ කාලයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගද සම්බන්ධයක් තිබුණි. ඔහු එම තනතුරෙන් ඉවත් වන්නට පෙර කිසියම් අවස්ථාවකදී ඔහුගේ වුවමනාව නිසා හෝ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාව නිසා ඔහු සමග මම ඒ මහතා හමුවී ඇත්තෙමි. එය සිරිසේන මහතා හමුවූ දෙවැනි අවස්ථාව විය. ඒ අවස්ථා දෙකේදීම මා කතා කළේ ජනාධිපති ක‍්‍රමය ඉවත් කරගැනීමේ අවශ්‍යතාව ගැන හා රටේ ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතා ගැනය.

කට්ටිවාදය

ජනාධිපතිවරණය ජයගත් වහාම වාගේ මලිත් දුරකතනයෙන් කතා කොට තමා පදනම් ආයතනයේ සභාපති ධුරයට පත්වන බවත්, මා හා ශිරාල් ලක්තිලක එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමට තමා තීරණය කර ඇති බවත් කීවේය. ඔහුගේ යෝජනාව මගේ සිනහවට හේතුවිය. එවැනි තනතුරු මා බාර නොගන්නා බව මම ඔහුට කීවෙමි. එසේ නම් තමා තනතුරේ වැඩ භාරගන්නා දිනයේදී ඒ අවස්ථාවට සහභාගි වන ලෙස ඉල්ලා සිටියේය. එයද මම ප‍්‍රතික්ෂේප කළෙමි. ඉන්පසු කිසියම් කාලයක් ඔහු මට කතා නොකළේය. ඉන්පසු ඔහු කළ කට්ටිවාදී ක‍්‍රියාවක් මට අසන්නට ලැබී මම ඔහුට දුරකතනයෙන් දෝෂාරෝපණය කළෙමි. මාගේ විවේචනය අසා ඔහු මට අපූරු ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ඔබට බොහෝ දේවල් කල් තියා දැකීමේ හැකියාව තිබෙනවා. ඒත් මෛත‍්‍රීපාල පොදු අපේක්ෂකයා වන බව අවසාන මොහොත දක්වාත් දැන සිටියේ නැහැ නේදැ’යි අසා එය තමන් දැන සිටි බව කියා සිටියේය. ඒ පිළිතුර මගේ විනෝදයට හේතුවිය. ඔහු මෛත‍්‍රීපාලගේ ආගමනය දැන සිටියේ කල්තියා දැකීමේ හැකියාව නිසා නොව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබූ ළඟ සම්බන්ධය සහ රහසේ වෙන දේවල් දැන සිටීම නිසාය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ආසන්න දිනක බොහෝ කාලයකට පසු ඔහු මට දුරකතනයෙන් කතා කළේය. රූපවාහිනී නාලිකාවක් මගින් විකාශය කිරීමට සැලසුම් කොට තිබෙන ජනාධිපතිවරයා සහභාගි වන ප‍්‍රශ්න විචාරක වැඩසටහන මා ප‍්‍රශ්න විචාරකයා ලෙස ක‍්‍රියාකරනවා දකින්නට ජනාධිපතිවරයා උනන්දුවක් දක්වන බව කියා ඊට මගේ ඇති කැමැත්ත අසා සිටියේය. අසන ප‍්‍රශ්න තීරණය කිරීමේ නිදහස මට දෙන්නේ නම් එම වැඩසටහන මෙහෙයවීම භාරගැනීමට කැමති බව කීවෙමි. ඔහු ඒ ගැන වැඩිදුර සාකච්ඡුා කරගැනීම සඳහා එදිනම මගේ ගාල්ලේ නිවසට ආවේය.

එහිදී වැඩියෙන්ම කතා කෙරුණේ ප‍්‍රශ්න විචාරක වැඩසටහනකට වඩා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කරගැනීම සඳහා ඔවුන් දියත් කර තිබුණු මෙහෙයුමක් ගැනය. ඔහු කතා කරන විදියෙන් මට පෙනුණේ එය ඔහුගේම සැලැස්මක් අනුව දියත් කර තිබුණු වැඩසටහනක් වන බවය.

මම ඔහුට කතා කරන්නට ඉඩදී අසාගෙන සිටියෙමි. වැඩසටහන ඉලක්ක කරගෙන තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ‍්‍රීලනිපයට වැඩි බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප‍්‍රධාන අරමුණ කරගෙන තිබුණි. රාජපක්ෂ පවුලේ අයට එරෙහිව තිබෙන නඩුහබවලින් ඔවුන් නිදහස් කරන බවට සහතික වී ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවට හිටපු ජනාධිපතිවරයාගේ ආධාර ලබාගැනීම එම වැඩසටහනේ උපාය මාර්ගික අරමුණ වී තිබුණු බවද පෙනෙන්නට තිබුණි. ඒ සඳහා විවිධ පුද්ගලයන් ගැන කරන ලද සාකච්ඡුා ගැනද ඔහු කතා කළේය. ගෝඨාභය සමග කරන සාකච්ඡුාව කර තිබෙන්නේ ඔහුමය. ජනාධිපති ආර්යාව හා එම පවුලේ වෙනත් අය සමගද සාකච්ඡුා කර තිබුණි. ගෝඨාභය සමග කරන ලද සාකච්ඡුා ගැන ඔහු කතා කළේ උද්දාමයකින් යුතුවය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ගෝඨාභයගේ පැත්ත පළාතකටවත් යන්න පුළුවන්කමක් නොතිබූ පුද්ගලයෙකුට දැන් ඔහු සමග එකම සම මට්ටමින් වාඩිවී දීර්ඝ සාකච්ඡුාවක් කරන්නට ලැබීම ඔහුගේ ආස්වාදයට හේතුවී තිබුණු බව පෙනෙන්නට තිබුණි.

ඔහුගේ එම කතාව අසා අවසානයේදී මම සමස්ත වැඩසටහන ගැන මා දරන අදහස් පළකරන්නට වීමි. ඔබ ඔබගේ නායකයා රැුගෙන යන්නට උත්සාහ කරන්නේ මහා අගාධයකට බව මම කියා සිටියෙමි. ජනතාවගේ අහිංසක අභිලාෂයන් සමග සෙල්ලම් කරන තැනකට යෑම සාධාරණ නොවන බවද කියා සිටියෙමි. මා කරන ලද විවේචනය ඔහුගේ විමතියට හේතුවූ බවද පෙනෙන්නට තිබුණි. අප දෙදෙනා කතා කළේ අඩියක් ගසමින් වුවත් ඔහු ආපසු යන්නට ගියේ සතුටකින් නොවන බවද පෙනෙන්නට තිබුණි.