අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදු වූ ආපදා තත්ත්වයෙන් අඩාල වූ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබද සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(06) පස්වරුවේ හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දිස්ති‍්‍රක්කයේ ආපදාවට ලක්වූ නිවාස නැවත ඉදිකරදීම, විනාශ වූ මාර්ග පද්ධතිය පාසල් ඇතුළු පොදු ස්ථාන ප‍්‍රතිසංස්කරණය, හානියට පත්වූ වාරිමාර්ග පද්ධතිය ප‍්‍රතිසංස්කරණය, හානියට පත් වූ වගා බිම් යථා තත්ත්වයට පත් කිරීම ආදිය සදහා ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබද මෙහිදී නිළධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිතුමා එම කටයුතු කඩිනම් සහ විධිමත් අයුරින් ඉටු කරන ලෙස උපදෙස් දුන්නේය.

දිස්ති‍්‍රක්කයේ හානි වූ මාර්ග, පාලම් සහ බෝක්කු අලූත්වැඩියා කිරීමට අදාළ වියදම් ඇස්තමේන්තුව කඩිනමින් ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දුන් අතර එම මුදල් අදියරෙන් අදියර ලබාදීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.එමෙන්ම හානියට ලක්වූ වගා බිම් සදහා පොහොර සහ බිත්තර වි නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබෙන අතර හානි වූ වාරිමාර්ග පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ද කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේය.

එමෙන්ම නායයාමේ අවදානම පවතින අනාරක්ෂිත ස්ථානවල පදිංචිව සිටින ජනතාව එම ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ලක් වූ අතර අදාළ ස්ථානවලින් ඉවත්වීමට අකමැත්තක් දක්වන පිරිස් දැනුවත් කිරීම සදහා පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම පිළිබද ප‍්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ එකගතාවයෙන් යුතු විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිළි කළේය.

අමාත්‍යවරුන්වන සජිත් පේ‍්‍රමදාස, මහින්ද අමරවීර, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් රැසක් ද, හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

02030405