නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා යළිත් අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ මේ ආණ්ඩුව තමන්ට එල්ල වී ඇති ජනතා විරෝධය නවතාලිය හැක්කේ ජනතා මර්දනයකින් සහ දේශපාලන දඩයමෙන් පමණක් බව සලකා කටයුතු කිරීමෙන් යැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වාදෙයි.

අද(16)පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ප්‍රචාරක ලේකම්, මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“සිරිසේන – වික්‍රමසිංහ -අනුර දිසානායක පාලනය අද වන විට ඉතාමත් ජනතාද්‍රෝහී ක්‍රියාවන් එකපිට එක සිදුකරමින් සිටිනවා. විශේෂයෙන් ආණ්ඩුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතාමත් සදාචාර විරෝධී ලෙස පාර්ලිමේන්තුවේ සම්ම්තකර ගත්තා. එහි අන්තර්ගතය සාධාරණීකරණය කරන්න ජනතා විමුක්ති පෙරමුණ දැඩි වෙහෙසක් ගන්නවා. ඒ නිසා මේක ‘ධනවාදයත් – සමාජවාදයත්’ එකට එකතුකරගත් හාස්‍යජනක පනතක් බව පෙනෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාව අනුව, ඔවුන් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව අනුව තමයි මෙම පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. මෙම පනත් කෙටුම්පත සම්මත වෙලා පැය 24ක් තුළ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තම බලවත් සතුට පළ කරනවා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණත් මේ පනත සම්මත වීම පිළිබඳ ඒ හා සමානව තම සතුට පළ කරනවා. ඒ නිසා අපට පෙනී යනවා, එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් දෙකක් එකට එකතු වෙලා කියලා. දැන් අපට තිබෙන ප්‍රශ්නය තමයි ‘ඇමෙරිකා ඒකසත් ජනපදය ධනවාදය අතහැරලාද? එහෙම නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අතහැරලාද? කියන එක.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත සම්මත වීම රටට ඉතාමත් හානිකරයි. රණවිරු දඩයමට පාර කැපෙන නිසාත්, විදෙස් අරමුදල් මගින් නැටවෙන මෙවැනි ආයතනයක් පිහිටුවීම මගින් රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට සිදු වන බලපෑම නිසාත් මෙයට දැඩි ජනතා විරෝධයක් මතුව තිබෙනවා. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් සිදු කරන භයානකම දෙය තමයි, ‘යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සාක්‍ෂි එකතු කරන ෆැක්ටරියක්’ ලෙස කටයුතු කිරීම. මෙතැනින් එහාට රණවිරුවන් යුද අපරාධ දංගෙඩියට දැක්කීම සඳහා වූ ක්‍රියාවලිය වේගවත් වෙනවා. මේ ක්‍රියාවලිය ඇරඹීමට තමයි බටහිර අධිරාජ්‍යවාදීන් 2015 ජනවාරි 08 වැනිදා මේ රූකඩ ආණ්ඩුව හදා ගත්තේ.

මේ මහා පාවාදීම අමු අමුවේ කරලා, ඒ පිළිබඳ කතිකාවතක් පාර්ලිමේන්තුව තුළ ඇති වීමට ඉඩ නොදී ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ආණ්ඩුව පිනවීමට, ජනතා විමුක්ති පෙරමුණ මේ පනතට ඒකපාක්‍ෂිකව සුදු හුණු ගාමීන් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පැවති ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කළ පාපී බලවේග එදා දුන් පොරොන්දු සියල්ල අද බිඳ වැටී තිබෙනවා. ‘පෝට්සිටිය’ නතර කරනවා කියපු මේ ආණ්ඩුව අද හෙක්ටයාර් 233 වෙනුවට හෙක්ටයාර් 269ක් දිලා එහි වැඩ යළි ඇරඹීමට අදාළ චීන සමාගමට අවසර දී තිබෙනවා. එදා ‘පෝට්සිටිය’ හදන්න වැය වන කළුගල් කියුබ් ගණන ගැන කතා කරපු අනුර දිසානායකගේ කටේ අද කළුගල් හිරවෙලාද? එයා අද හොයාගන්නවත් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව පෙනෙනවා, ජවිපෙ අද ආණ්ඩුවේ වහල්ලු බවට පත්ව සිටින බව. අද ඔවුන් ආණ්ඩුවේ කුණුකසල ඉවත් කිරිමේ කාර්යයේ නිරතව සිටිනවා.

‘ආර්ථිකය සවිමත් කරනවා’ කියලා මේ ආණ්ඩුව පොරොන්දු රාශියක් ලබා දී තිබුණා. එදා කීවේ, පොළොන්නරුවේ ගොවියා රජවෙනවා. වීවලට රුපියල් 50ක සහතික මිලක් දෙනවා’ කියලා. අද පොළොන්නරුවේ ගොවියා රජවෙලා. නමුත් වී වලට රුපියල් 50ක සහතික මිලක් නැහැ. ඒ විතරක් නොවෙයි තේවලට, රබර්වලට සහතික මිලක් ලැබුණේ නැහැ. වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටිලා, ඉදිකිරිම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත බිඳ වැටීමක් සිදු වී තිබෙනවා. සියලු සංවර්ධන වැඩ ඇණහිටලා තිබෙනවා. මේ ආණ්ඩුවේ අවුරුදු එක හමාරක ‘අස්වැන්න’ සම්පූර්ණයෙන්ම ‘බොල්’ වෙලා තිබෙනවා. අද රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. ඒකට වග කියන්න ඕනෙ මේ වෙනස සිදු කරන්න මුල් වූ අයයි.

ඒ අතරේ නීති විරෝධි ආකාරයට වැට් බදු පනවලා ජනතාවගේ මුදල් මහ දාවාලේ කොල්ලකන තත්වයට මේ වැඩ බැරි ආණ්ඩුව පත් වුණා. අපට පුළුවන් වුණා මේ නීතිවිරෝධී බදු පැනවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නතර කරන්න. නමුත් මේ ආණ්ඩුව නැවත වැට් බද්ද වැඩි කරන්න ඉතාමත් සූක්‍ෂ්ම ලෙස ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

මේ ආණ්ඩුව දැන් තමන්ට එරෙහි ජනතා විරෝධය මර්දනය කිරීම වේගවත්කර තිබෙනවා. ඊයේ(15) නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගැනීම අපි දකින්නේ හුදෙක් මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමක් ලෙස පමණක් නොවෙයි. එමගින් පෙනී යන්නේ මේ ආණ්ඩුව තමන්ට එල්ල වී ඇති ජනතා විරෝධය නවතාලිය හැක්කේ මර්දනයෙන් සහ දේශපාලන දඩයමෙන් පමණක් බව සලකා කටයුතු කරන බවයි. දැන් මේ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ තවත් වටයකින් ජනතා මර්දනය සහ දේශපාලන දඩයම ඉදිරියට ගෙන ඒමටයි

ඔබ දන්නවා, ජනතාවගේ අප්‍රසාදය එල්ල වෙද්දී එදා ජේ.ආර්. ජයවර්ධන පාලනය කටයුතු කළ අකාරය. ඒ ‘ධර්මිෂ්ඨ පාලනය’ විපක්‍ෂය මර්දනය කළා, ඡන්ද කල් දැම්මා. අද ‘සිරිසේන-වික්‍රමසිංහ-අනුර දිසානායක’ යහපාලනයත් විපක්‍ෂය මර්දනය කරනවා, ඡන්ද කල් දමනවා. එදා මාමාගේ ‘ධර්මිෂ්ඨ පාලනයට’ සමාන ‘යහපාලනයක්’ අද බෑණා ලබාදෙමින් සිටිනවා. ඒකට සිරිසේන හා අනුර දිසානායක සහයෝගය දෙමින් සිටිනවා.

පසුගිය දිනවල අනීතික වැට් බදු පැනවීමට එරෙහිව කඩ වහලා පාරට බැහැපු ව්‍යාපාරික ප්‍රජාවට නායකත්වය දුන් එක්සත් වෙළඳ සංගමයේ ප්‍රධානීන් රේගුව යොදාගෙන අද මර්දනය කරනවා. රේගු නිලධාරීන් බලහත්කාරයෙන් යොදවා ගෙනයි මේ මර්දනය සිදු කරන්නේ. ඔවුන්ගේ කඩවලට පැනලා අද ඒවා සීල් තබනවා. පළාත් පාලන මැතිවරණයේදී තමන්ට අභියෝගයක් විය හැකි විපක්‍ෂයේ බිම් මට්ටමේ නායකයන්ට මේ දිනවල මේ ආණ්ඩුව බලවත් ලෙස හිරිහැර කරනවා. එකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට අද කරන දේ බලන්න. පළමුව ඔවුන් සැකකරුවන් ලෙස නම් කරනවා. ඊට පසුව අධිකරණයට ගිහින් කියනවා ‘මේ සැකකරුවා රක්‍ෂිත බන්ධනාගාරගත නොකර සිටියොත් ඔහු සාක්‍ෂිකරුවන්ට බලපෑම් කරනවා. ඒ නිසා ඇප ලබා දෙන්න එපා’ කියලා. වරදක් ඔප්පු කරලා දඬුවම් දීම නීත්‍යනුකූලයි. නමුත් ‘සාක්‍ෂිකරුවන්ට බාධා කිරීම’ වැනි විවිධ උපක්‍රම පාවිච්චි කරලා තම දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමයි මේ ආණ්ඩුව සිදු කරන්නේ. ඊයේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමාට අත් වුණෙත් එවැනි ඉරණමක් කියලයි අපි විශ්වාස කරන්නේ.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ‘තමන්ට එල්ල වී තිබෙන ජනතා විරෝධය මර්දනයෙන් සහ දඩයමින් යටපත් කරන්න එපා! කොන්දක් කිබෙනවා නම්, ජනතා බලයට බය නැතිනම් වහාම පළාත් පාලන ඡන්දය පවත්වන්න’ කියලා. එවිට අපි පෙන්වන්නම් ජනතා බලය හිමි කාටද? කියා”

LEAVE A REPLY