ජෝන් සෙනෙවිරත්නට දේශපාලනය ඉගැන්නුවේ තමාගේ පියා බව  පා.ම පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය පවසයි.

කෙසේ වුවද ඔහුට මේ වගේ දේශපාලනය කිරීමට තමාගේ පියා උගන්වා නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට අද එක්වෙමින් ඇය පැවසුවාය.

රත්නපුර හෙට පැවැත්වෙන රැළිය සඳහා සීවලි ක්‍රීඩාංගණය ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා නැතැයිද පළමුව ඉල්ලා ඇත්තේ ලොරි ගාල යැයිද ජෝන් සෙනෙ‍විරත්න ඇමතිවරයා ඊයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඇය මේ බව කියා සිටියාය.

රත්නපුරේ දේශපාලනය කරන අය ලෙස ලොරිගාල වෙන් කර ගැනීමේදී අසළ ඇති සීවලි ක්‍රීඩාංගණයද ඒ සඳහා යොදාගන්නා බවත්, රැළියට විශාල පිරිසක් එතැයි සිතූ නිසා ලොරිගාලේ වාහන නවතා ප්‍රධාන රැළිය සීවලි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නාගරික කොමසාරිස්ගෙන් පසුව අවසර ඉල්ලා සිටි බවත්, ඇය පැවසුවාය.

ජෝන් සෙනෙවිරත්න තමන්ට ඊයේ ලේලිය කියූ බවත්, ඔහු තමාගේ මාමා වුවද ඔහුට මේ ආකාරයේ දේශපාලනයක් තම පියා උගන්වා නැතැයිද ඇය කියා සිටියාය.

කෙසේ වුවද සීවලි ක්‍රීඩාංගණය නොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවද ඇය පැවසුවාය.

එසේම ඩිලාන් පෙරේරා ගැන අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ ඔහු චන්ද්‍රිකා, මහින්ද මෙන්ම මේවන විට මෛත්‍රිපාල සිරිසේන ජනපති ළඟට වී චරිත 7ක් රඟපාන්නෙකු බවයි.

රත්නපුර රැළිය නිසා ආණ්ඩුව කුලප්පු වී පකිස් බූරුවන් මෙන් දැන් කටයුතු කරන බව එම මාධ්‍ය හමුව ඇමතු වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදුන්නේය.

කුඩාරම් – වේදිකා නැතිව රැළිය පවත්වන ලෙසට දැනුම්දී ඇති බවත්, එය වූ කලී පීනුවට කමක් නෑ ඇඟ තෙමා ගන්න එපා වගේ කතාවක් යැයිද හෙතෙම කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනූව එහි සභාපති විය යුත්තේ වයස අවුරුදු 35ට අඩු අයෙකු බවත්, ශාන්ත බණ්ඩාර ඊට වඩා වැඩි වයසකින් යුතු අයෙකු නිසා ඔහු කියන කතා එතරම් ගණන් ගත යුතු නැතැයි මාධ්‍ය හමුවට එක්වූ රංජිත් සොයිසා මහතා පැවසීය.

LEAVE A REPLY