ඩී.වී උපුල්ගේ පළාත් ඇමතිධූරය අහිමි කිරීමට එරෙහිව දකුණු පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක් අද කළුපටි පැළඳ දැක්වූ විරෝධතාවයක් උණුසුම්වීම හේතුවෙන් එහි කටයුතු ලබන මස 08 වැනිදා දක්වා කල්තබා තිබේ.

කළුපටි පැළඳගත් මන්ත්‍රීන් පිරිස දකුණු පළාත් සභාවේ කටයුතුවලට බාධා කරමින් හැසිරීම නිසා එහි කටයුතු ලබන මස 8 තෙක් කල්දැමීමට සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා නියම කළ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව ඩී.වී උපුල්ට හිතවත් මන්ත්‍රීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් පළාත් මහඇමති ශාන් විජයලාල් ප්‍රමුඛ එජාප මන්ත්‍රීන් පිරිසක්ද මේවන විට මාධ්‍ය හමුවක් පවත්වන බව අප වාර්තාකරු වැඩිදුරටත් කීවේය.

ඩී.වී උපුල් මහතා විසින් දැරූ ධීවර අමාත්‍යධූරය ඇතුළු විෂය කිහිපයක් එම පළාත් සභාවේ මන්ත්‍රී එච්.ඩබ්ලිව්.ගුණසේන මහතාට ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත් අතර මේ සමග උපුල්ට හිතවත් මන්ත්‍රීන් ඊට විරෝධය පළකරන ලදී.