ඩෙංගු රෝගය මේ වන විට ශ්‍ර‍ී ලංකාවේ අධි වසංගත තත්ත්වයක් බවට පත් ව ඇතැයි ශ්‍රී ලංකා කායික ‍රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ලෝකයේ වැඩියෙන් ම ඩෙංගු රෝගය ව්‍යාප්ත වී ඇති රටවල් 128 අතර ට ශ්‍රී ලංකාව ද එක් ව ඇතැයි සංගමය නිවේදනය කරයි.

පසුගිය සමයේ ඇතිව‍‍‍‍ූ අධික වර්ෂාව ජල ගැලීම් හා ජලාපවහන පද්ධති අවහිර වීම හා නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් මදුරු කීටයන් බෝවන පරිශ්‍ර වැඩිවීම මේ වසංගත තත්ත්වයට හේතු වී තිබේ.

2016 පසුගිය මාස හය ඇතුළත ඩෙංගු රෝගීන් 30000 කට ආසන්න වන බව වාර්තා වී ඇත. වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර හා ගාල්ල යන ප්‍රදේශවලින් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ. ගත වූ මාස හය තුළ පුද්ගලයන් 35 දෙනකු ඩෙංගු රෝගයෙන් මරණයට පත් ව තිබේ.

ඩෙංගු රෝගයෙහි ප්‍රභේද හතරක් ඇති අතර මේ වනවිට එම ප්‍රභේද හතරෙන් ම රෝගීන් වාර්තා වන බව ඇල්පිටිය මූලික රෝහලෙහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා පවසයි. ඩෙංගු රෝගය මෙන් ම වෙනත් වෛරස උණක් ද මේ දිනවල පැතිර යන හෙයින් ජනතාව තමාට වැලඳී ඇත්තේ කවර උණක් දැයි නිශ්චිතව දැනගෙන ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බව ද ඒ මහතා පවසයි.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවෙන් තොරව උණ ගැනීම, මස් පිඬුවල  බුරුලට මළපහ පිටවීම මෙන් ම, ඇතැම්විට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහිත උණ පැවැතීම හා අධික හිසරදය ඩෙංගු රෝගයෙහි ම‍ූලික ලක්ෂණ වේ. වෛරස උණ රෝගයෙහි ලක්ෂණ ද බොහෝ දුරට මේවාට සමාන වේ. සාමාන්‍යයෙන් දින – දෙක තුනක් උණ පැවතුණ ද ‍එය අනියත බියක් ඇති කරගත යුතු හේතුවක් නො වේ. එහෙයින් දින තුනක් යන තුරු උණ පාලනය කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය හැරුණු විට වෙනත් ඖෂධ භාවිත නො කරන ලෙසත්, දින තුනක් ගත ව‍ූවත් උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පහව නොයන්නේ නම් වහා ම රජයේ ‍රෝහලකින් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලබාගත යුතු අතර ඩෙංගු ‍රෝගය සඳහා පරීක්ෂාවක් කරගත යුතු බවත් වෛද්‍ය ජානක පවසයි.

වෙනත් වෛරස උණ රෝගවල දී ද සිරුරෙහි රුධිර පට්ටිකා ප්‍රමාණය පහත වැටේ. එහෙත්, ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටේ. මේ තත්ත්වය පරීක්ෂා කර ගැනීම සඳහා මූලික වශයෙන් ම කළ යුත්තේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර ගැනීම ය. මේ දිනවල පවත්නා වෙනත් වෛරස රෝගවලට ද ඩෙංගු රෝග ලක්ෂණ හා සමාන රෝග ලක්ෂණ පහළ විය හැකි හෙයින් උණ රෝගය නො සලකා හැර හිතුමතේට ප්‍රතිකාර ගැනීමෙන් වැළකීම ඉතා වැදගත් ය. උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් ඖෂධ ලබා ගැනීමෙන්, ඔබට ඩෙංගු රෝගය වැලදී තිබුණ හොත්, ඩෙංගු රෝගයෙහි සංකූලතා මතු වීමට ඇති ඉඩකඩ වැඩි වේ. අභ්‍යන්තර රුධිර වහනය වීමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ අවධානම එමඟින් වැඩි වේ. එහෙයින් උණ ගැණුනු වහා ම වෛද්‍ය උපදෙස් පැතීම හෝ ළඟම පිහිටි රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.

රසායනාගාර පරීක්ෂණ සියල්ලම සියයට සියයක් ම නිවැරැදි නො වන හෙයින් රසායනාගාර පරීක්ෂණ වාර්තා මතම යැපෙමින් රෝගය පිළිබඳ තීරණ ගැනීමට හෝ ප්‍රතිකාර ගැනීමට රෝගීනට නිසි අවබෝධයක් නොමැති වන හෙයින් උණක් ඇතිවූ වහාම රෝහලකින් හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වන බව ද වෛද්‍ය ජානක පවසයි.

මේ වනවිට පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය නිරිත දිග මෝසම් වර්ෂා සමය හේතුවෙන් ඉදිරි මාස දෙක තුන පුරා ද එලෙසම පැවතිය හැකි හෙයින්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, තම නිවාස හා පරිශ්‍ර අවට පරිසරයෙහි මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශකර පවිත්‍රතාව රැක ගන්නා ලෙසත්, කායික‍ ‍රෝග විශේෂඥවරුන්ගේ සංගමය ජනතාවට අවවාද කරයි.

 උණ ඇතැයි සැක කරන විට ඔබ විසින් කළ යුතු දේ?

* උණ පාලනය සඳහා නියමිත මාත්‍රාවෙන් පැය හයකට වරක් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න.

* තදින් උණ ඇත්නම් පිරිසුදු රෙදිකඩක් ‍ උණුකර නිවාගත් ජලයෙන් පොඟවා රෝගියාගේ සිරුර තවන්න.

* වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොඳින් විවේක ගන්න.

* දෙවැනි දිනයේදීත් උණ ඇත්නම් වෛද්‍යවරයා විසින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් නියම කරනු ඇත.

* තෙවැනි දිනයේදීත් උණ පවතී නම්, ඩෙංගු රෝගය ඇත්දැයි රුධිර පරීක්ෂාවක් කර ගන්න.

* තෙවැනි දිනයේදීත් උණ අඩුවන්නේ නැත්නම් වහාම ළඟ ම පිහිටි රජයේ රෝහලක් වෙතින් හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයකු ගෙන් නො පමා ව ප්‍රතිකාර ලබාගන්න.

* දියවැඩියාව; අධික රුධිර පීඩනය වැනි රෝග ඇත්නම් ඒ රෝග තත්ත්ව හා ඖෂධ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කරන්න.

* නැවුම් පළතුරු යුෂ, තැඹිලි වතුර, කැඳ වතුර, සුප් හා ජීවනී වැනි පාන වර්ග වැඩිපුර පානය කරන්න.

ඔබ විසින් නොකළ යුතු දේ.

* තද උණ සමනය කිරීමට ඇස්පිරින්, ඩයික්ලො‍ෆිනැක් සෝඩියම්, මෙෆොනෙමික් ඇසිඩ් හෝ ඉබියුප්‍රොෆෙන් වැනි වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින්න.

* රතු/ දුඹුරු පැහැති ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න. නිදසුන් ලෙස තේ කහට, කෝපි, තද පැහැති පැණි බීම වර්ග, බීට් රූට් මාමයිට් සහ දම් පැහැති මිදි වැනි ආහාර නුසුදුසු ය.

 වැළැකීම සඳහා:

* දිවා කාලය තුළ ‍ඩෙංගු මදුරු දෂ්ටනයෙන් හැකිතාක් ප්‍රවේසම් වන්න.

* අත් පා හොඳින් ආවරණය වන පරිදි ලිහිල් කපු ඇඳුමින් සැ‍රසෙන්න.

* දිවා කාලයේදී ද විවේක ගන්නා විට මදුරු දැලක් භාවිත කරන්න.

* පැඟිරි තෙල් වැනි මදුරු විකර්ශක භාවිත කරන්න.

* නිවස හා අවට පරිසරයේ පවිත්‍රතාව නිරතුරුවම රැකගන්න.

 

සාකච්ඡා කළේ :
සාගරිකා දිසානායක ජයසිංහ
ඇල්පිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක