මීට පෙර සිටි ජනාධිපතිවරු හැසුරුණු ආකාරයට හැසීරීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කරන ජනාධිපතිතුමා තමා ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමුහිකත්වය අගය කරන සියලූදෙනාගේ හඬට ඇහුම්කන් දෙන ජනාධිපතිවරයෙක් බව පැවසීය.

“දැන් සිටින ජනපති” අගමැතිටත් කීකරුයි, යැයි හිටපු අමාත්‍යවරයෙකු කර තිබූ ප්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමා කීකරු මේ රටේ පොදු මහජනතාවට පමණක් බවයි.

පැවති ඒකාධිපති පාලනය ජනතාවගෙන් ප්‍රතික්ෂේපවීමේ ප්‍රතිඵලයක් ලෙස තමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා තමා තීන්දු තීරණ ගන්නේ සැමගේ හඬට ඇහුම්කන් දෙමින් රටේ අවශ්‍යතාවය මත බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පෙරවරුවේ නෙළුම්පොකුණ රඟහලේ පැවැති ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට එක් වෙමිනි.

මෙරට සමූපකාර ව්‍යාපාරයේ පිබිදීමක් ඇති කිරීම සඳහා නව පනතක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

එමෙන්ම සමූපකාර සමිති සඳහා 2017-2018 වසර දෙක තුළ තීරුබදු රහිත ලොරි රථ ලබාදීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන එන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

වැට් බදු ක්‍රමය සමග ජනතාවගේ දෛනික ජන ජිවිතයේ මතුව ඇති ගැටලූවලට විසඳුම් ලබාදෙමින් අවශ්‍ය සහන සැලසීම සඳහා මේ වන විටත් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ එක්ව සාකච්ඡා කර පැහැදිළි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

රජයක් ලෙස කිසිදු අවස්ථාවක මහජනතාව මත බර පැටවීමට සූදානම් නොමැති බවද අවධාරණය කළ ජනාධිපතිතුමා අද ජාතික ආර්ථීකය මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලූවන ණය බර පියවා ගැනීම, විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම මෙන්ම ආනයන, අපනයන වෙළඳ ශේෂය අවම කර ගැනීම යන ගැටලූ සඳහා විධිමත් සැළසුම් ඔස්සේ විසඳුම් සොයන බව ද කියා සිටියේය.

රට සංවර්ධනය කළ බවට කවුරුන් කෙසේ උදම් ඇනුවත් පසුගිය වසර ගණනාව තුළ අපේ රටේ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ මහත් කඩාවැටීමක් සිදුව තිබෙන බව ද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දේශීය ආර්ථීකය ශක්තිමත් කරමින් රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම නව රජයේ අපේක්ෂාව බව ද වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පාසල් දරුවන් අතර පැවති චිත්‍ර, රචනා සහ නාට්‍ය තරඟවල ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ. පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.