ත්‍රිවිධ හමුදාවේ ඉහළ සිට පහළට සියලූ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

සේනාධිනායකයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එම වගකීම් පිලිබඳ කිසිඳු අවස්ථාවක අඩු තක්සේරුවකින් කටයුතු නොකරන බව ද ජනාධිපතිතුමා අවධාරණ කළේ පසුගිය (22) පස්වරුවේ පනාගොඩ යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 09 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවය අමතමිනි.

අපගේ ආරක්ෂක හමුදාවන්ගේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කරමින් ඔවුන් ලෝකයේ පිළිගත්, විශිෂ්ට ත්‍රිවිධ හමුදාවක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

අද දේශපාලන වේදිකාවේ මෙන්ම ඇතැම් මාධ්‍ය තුළ කථා කරන රණවිරු දඩයම යන ප්‍රකාශය තමා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ද පැවසූ ජනාධිපතිතුමා පටු දේශපාලන අරමුණු වලට වඩා මාතෘ භූමියේ අභිමානය වෙනුවෙන් කටයුතු කරන ලෙස තමා ඔවුන්ට පවසන බව ද කියා සිටියේය.

කලාපීය සහ අන්තර්ජාතික තරඟ සඳහා ඉදිරිපත් කරන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩි අනුග්‍රහයක් ලබාදීමට රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩා සංචිතයක් රට තුළ පිහිටුවිමට හා ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණ දැනුම, පුහුණු කරුවන් සහ අනෙකුත් පහසුකම් ලබාදීම සඳහා වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමේ යෝජනාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.

ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් අතර තිඛෙන්නා වූ සහයෝගය වර්ධනය කිරීම හා ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නැංවීම තුලින් ජාතික හා ජාත්‍යන්තර මට්ටම රැගෙන යාමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

මාස 05 ක් පුරා විවිධ ක්‍රීඩා තරඟ ඉසව් 37 ක් යටතේ සාර්ථකව පැවැත්වූ ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවය මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3-4-1140x740 (1) 4-7-1024x628 6-7-1024x396 7-1-1024x361 11-8-1024x396