රගර් ක්‍රීඩක වසීම්   තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන  සැප්තැම්බර් 07 වැනිදා දක්වා ඔවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් සී.සී.ටී.වී.දර්ශන සහ දුරකථන ඇමතුම් පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.

ඒ අනුව සැප්තැම්බර් 7 වන දිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව  සඳහන්ය.