දකුණු ආසියාවේ විශාලතම සහල් බහාලුම් කවර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව අද (09)   ‍පොළොන්නරුව සිංහපුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වේ.

මෙම මහා පරිමාණ කර්මාන්තශාලාව රටට මෙන්ම විශේෂයෙන්ම රජරට ජනතාවට විශාල සම්පතක් ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරදිය. එනම් මෙම කර්මාන්තශාලාව මගින් ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 350කට ජු රැකියා අවස්ථා උදාවීමත් තවත් පන්සීයකට පමණ මේ හරහා වක්‍ර රැකියා අවස්ථා උදාවීමත් එයට හේතුන් වන්නේය.

අනෙක් අතට දකුණු අසියාවේ විශාලතම කර්මාන්තශාලාවක් මෙරට තුළ ඉදිකිරීම රටක් ලෙස පියවරක් ඉදිරියට යාමකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙන්ම වී ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් ‍පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ බොහෝ කර්මාන්ත සිදු කරන එල්. මිත්‍රපාල මහතා විසින් කර්මාන්තශාලාව ඉදිකොට ඇත.

‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සිංහපුර අක්කර 200ක භූමි භාගයක් පුරා ඉඳි කොට ඇති රත්න ‍පොලිපැක්ස් කර්මාන්තශාලාව ද රටේ ආර්ථිකයට ඉදිරියේදී සුවිශාල අත්වැලක් වනු ඇත.

මෙරට තුළ ඉදිවෙන මෙම සුවිශාල කර්මාන්තශාලාව පිළිබඳව අදහස් දක්වමින් එල්. මිත්‍රපාල මහතා මෙසේ සඳහන් කළේය.

“ඇත්තටම මම මේ ‍පොළොන්නරුව ගොවි ජනතාව විඳින දුක ඇස්වලින් දැක්කා. එදා මේ ජනතාව වී ටික විකුණාගන්න ක්‍රමයක් නැතුව දුක් වින්දා. බයිසික‍ලේ වී මිටිය බැඳගෙන හැතැප්ම ගණන් දුර ගියා. ඒක විකුණා ගන්න. එදා මුල් කා‍ලේ කුඹුරු අස්වැන්න විකුණ ගන්න එක. මේක දැකපු මම මුලින්ම අපේ ගමේ වී මිලට ගත්තා.

ඒ වී මම කදුරුවෙල ගිහින් විකුණුවා. එහෙම යද්දී මම කදුරුවෙල සහල් කොටන මෝලකට ගියා. ඒ මෝල දැක්කම මම හිතා ගත්තා ගමේ අයගෙන් වී අරන් මම ඒවා හාල් කරලා හාල් විකුණනවා කියලා. ඉතිං මම මුලින්ම බැරල් එකක් අරගෙන වී කිලෝ සීයක් තම්බලා වේලලා ඒක කොටලා තමයි හාල් ව්‍යාපාරය ආරම්භ කළේ. අද මම මේ රටේ විශාලතම වී මෝල් හිමියෙක්. මගේ ව්‍යාපාර තුළ අද ‍පොළොන්නරුවේ ගොවි ජනතාවගේ දුවා දරුවෝ 900ක රැකියා කරනවා. ඒ කියන්නේ පවුල් 900ක්. ඊට අමතරව වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ඒ හරහා නිර්මාණය කරනවා.

මගේ හාල් කර්මාන්තය දියුණු වුණාම ඒ හාල් දාන්න කවර නැතිකමේ අර්බුදයකට මුහුණ දුන්නා. ඉතිං එදා මම තීරණය කළා රටටම හාල් දෙන්න පුළුවන්නම් ඇයි ඒ හාල් දාන්න කවර නිර්මාණය කරන්න බැරි කියලා. ඒ අනුව තමයි මම මේ සුවිශාල කර්මාන්තශාලාව ආරම්භ කළේ.

මම වගේ අදහස මුලින්ම කීවේ එවකට සෞඛ්‍ය ඇමති වෙලා හිටපු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබුණා ‍පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ වගේ කර්මාන්තශාලාවක් ඉදිවෙන එකට. ඒ අනුව තමයි මේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ අක්කර 200ක ඉඩම සොයාගෙන මෙහි ඉදිකිරීම් සිදු කරලා අද දවසේ ජනාධිපතිතුමා අතින්ම විවෘත කරන්නත් පුළුවන්කම ලැබුණේ.

මෙම සහල් බහාලුම් කවර සුවිශේෂී වන්නේ ඒවා නිෂ්පාදනය කරනු ලබන්නේ ඉතාමත් පරිසර හිතකාමී ආකාරයෙන් වීම නිසයි. මාසයකින් දිරන ලෙස මාස දෙකකින්, මාස තුනකින්, මාස හයකින් දිරන ලෙස මෙම සහල් කවර නිෂ්පාදනය කිරීම සිදු වීම විශේෂත්වයක්.

කර්මාන්ත  ගමට නොයන කාලයක කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, හම්බන්තොට ආදී රටේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් සංවර්ධනය සීමා වෙද්දී කර්මාන්තශාලා එම දිස්ත්‍රික්කවලට පමණක් සීමා වෙද්දී අහිංසක ගොවි ජනතාව සිටින ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයට මෙවැනි සුවිශාල කර්මාන්ත ශාලාවක්  ඉදිකිරීම සැබවින්ම ඉතා වැදගත්ය. අනෙක් අතට ‍පොළොන්නරුවට බොහෝ දුරින් පිහිටි මඩකලපුව, අම්පාර, ‍පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුනටම මායිම්ව ඇති ඉතා සුන්දර ස්ථානයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇති අතර එය එම ප්‍රදේශයේ සංවර්ධනයටද ඉමහත් පිටිවහලක් වී ඇත.

අද ජනාධිපතිවරයා අතින් විවෘත වන මෙම කර්මාන්තශාලාව තවත් අයුරකින් ‍පොළොන්නරුවේ ගොවි ජනතාවට සුවිශේෂී වන්නේ මතෛක් ගොවිතැන් පමණක් කළ එම ජනතාවට කර්මාන්ත ශාලාවක රැකියාවක් කිරීමට අවකාශ හිමි වීම නිසාය. අනෙක් අතට අති දුෂ්කර වූ සිංහපුර ප්‍රදේශයට මෙම කර්මාන්තශාලාව ලැබිම නිසා මෙම ප්‍රදේශයේ ජනතාවට අලුත් බලා‍පොරොත්තු සිතුම් පැතුම් සමග තම ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමේ අවකාශය මෙම ‘රත්න ‍පොලිපැක්ස්’ කර්මාන්ත ශාලාවත් සමග උදා වනු ඇත.