ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගය අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිතීන් හා ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට ප්‍රකාශයට  පත් කර තිබේ.

මල්වතු අස්ගිරි පාර්ශවවල මහා සංඝයා වහන්සේගේ අනුශාසනා පරිදි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ  මෙහෙයවීමෙන් එම තීරණය ප්‍රකාශයට පත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණි.

ඒ අනුව දළදා මාලිගයට සැදැහැවතුන් රැගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් වෙනුවට ප්‍රතිචක්රි කරණය කළ හැකි ද්‍රව්‍ය හඳුන්වාදීමට නියමිතය.

මේ අතර පොලිතීන් භාවිතය තහනම් කිරීමට බලධාරීන් පියවර ගැනීම තුළින් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව පොලිතීන් නිෂ්පාදකයින් හා ප්‍රතිචක්‍රීකරණ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති සිසිර ජයලත් මහතා සඳහන් කළේ පොලිතීන් තහනම් කිරීමට පෙර රජය තම සංගමය සමඟ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සිසිර ජයලත් මහතා මේ බව ප්‍රකාශ කළේය.