පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්ථියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි සැමගේම අපේක්ෂාව වුනා.

කෙසේ වෙතත් ජනමාධ්‍ය මෙම අපරාධය වාර්ථා කරන තුරු  වනජීවී ඇමතිතුමා, අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද  මෙය දැනුවත්ව නොසිටි බවට තොරතුරු අනාවරණය වුනා.

මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන අතරතුරදී මෙම අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රිවාමාර්ග ගත යුතු  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිදුකරන ලද තවත් ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස්‌ රටකින් නීති විරෝධී ලෙස ගෙන්වන ලද කුරුල්ලන් නීත්‍යානුකූල නොවන අයුරින් හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද මේ වන විට විමර්ශනයකින් හෙලිකරගෙන තිබෙනවා. එසේම මෙම උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඥතියකු බවද අනාවරණය කරගෙන තිබෙනවා.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාද  මෙම කුරුල්ලන් සෆාරි උද්‍යානයට භාරදීම සම්බන්ධව කිසිඳු තොරතුරක් නොදැන සිටි බවද හෙලිකල අතර මේ සම්බන්ධව දැනගැනීමෙන් පසු අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බලා කරුණු තහවුරු කරගෙන  තිබෙනවා.

මේ හේතුවෙන් වත්මන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියකු පත්කරන බවත්  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  තනතුරෙන් ඉවත් කරන බවත්  රජයේ ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.

පරිසරවේදීන් යෝජනා කරන්නේ සාම්ප්‍රදායික 8 – 4 රාජකාරි කරන නිලධාරියෙක් වෙනුවට සුදුසුකම් සහිත පරිසරයට ආදරේ කරන පරිසරවේදියෙක් පත් කරන ලෙසටයි.

අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව අවධානය යොමු  කර ඊට සුදුසු පරිසරවේදියෙක් එම තනතුරට පත් කරන ලෙස අපේ රට වෙබ් අඩවියේ අපද යෝජනා කර සිටින්නෙමු..!

ඇතුන් ආරක්ෂා කරන වෙනම බලකායක් සකස් කළ යුතුයි..! – දේශපාලනය වැඩක් නෑ..මෙන්න කරනවනම් හොඳ වැඩක්…

වනජීවි ආඥ පනත වෙනස්‌ කර හෝ ‘දළ පූට්‌ටුවා’ ඝාතනය කළ පුද්ගලයින්ට මරණීය දණ්‌ඩනය ලබා දෙන ලෙස තමා වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් ඉල්ලා සිටින බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (06 වැනිදා) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

දැන් තිබෙන නීති රීතිවලට අනුව අලි ඇතුන් මරණ පුද්ගලයන්ට හිමිවන්නේ කෙටි සිරදඬුවමක්‌ හා පොඩි දඩයක්‌. ඒ නිසා යළි නිදහස්‌වී නැවත එම වරදම කිරීමට ජාවාරම්කරුවන් පෙළෙඹෙනවා.

වනජීවි ආඥා පනත වෙනස්‌ කරන ලෙස මා මීට පෙර ඊට අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා. එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ පවතින නීති රීති වෙනස්‌ කළහොත් ඒවා තවත් ලිහිල් කරන ලෙස මහජන නියෝජිතයන් ඉල්ලා සිටින බවයි.

මේ නිසා ජාවාරම්කරුවන්ට බිලිවෙන අලි ඇතුන් බේරාගැනීමට දළපූට්‌ටුවාගේ ඝාතකයින්ට මරණීය දණ්‌ඩනය ලබාදී ඉදිරියට අලි ඇතුන් මරණයෙන් මුදා ගැනීමට රජය පියවර ගත යුතුයි.

එසේම ඉතා ඉක්‌මණින් ශ්‍රී ලංකාවේ අලි සංගණනයක්‌ හා ඇත් ආරක්‌ෂක බළකායක්‌ පිහිටුවීමට පියවර ද ගත යුතුයි.