දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මුදල් අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ‍මේ බව පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බව ද හෙතෙම කී‍වේය.

මේ අතර සං‍ශෝධිත වැට් බදු කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා එම හමුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර එහිදී වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව එහි දෙවන වර කියවීම දින 7කට පසුව සිදුකිරීමට නියමිතය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය  ලබන 26 වැනිදා පැවැත්වෙන අතර  ඉන්පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

එහිදී එම කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික  අනුමැතිය හිමි වුණි.