තමන්ට එරෙහිව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවරා තිබූ අපහස නඩුව යළිත් විභාග කරන්නේ නම් තමන් ඊට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙලෙස කියා සිටියා.

මම පැහැදිළිව කියන්න තියෙන්නේ එතුමා කියලු තිබුණා මම නඩුවට පැමිණුනේ නැහැ කියලා ඒකපාර්ශ්විය තීන්දුවක් ලබාදුන්නා කියලා. මම දැනට පදිංචිව සිටින ලිපිනයට එතුමා නඩුවක් දාන බවට කියන කිසිම දෙයක් ලැබුණේ නෑ. දැන් මම කැමතියි නඩුව දිගටම කරගෙන යන්න. නඩුවක් තිබෙන බවට ලිපි සියල්ලම ලැබුණට පස්සේ මට සතියක් දීලා තිබුණා මගේ පැත්තෙන් කරුණු පැහැදිළි කරන්න. මේ වන විට ඒවා අධිකරණයට භාරදීලා තියෙන්නේ. නැවතත් නඩුව ආරම්භ වනවා නම් මම කැමැතියි.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පසුගිය දා රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අදහස් පළ කළේ මෙලෙසින්.

දුමින්ද සිල්වා මහත්තයට කිසිම රෝගී තත්ත්වයක් නැහැ කියන එක හැමදාම මම කියනවා. අදටත් මං කියනවා. දැන් වන විට වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුට ඉහෙන් බහින රෝගයක් නෑ කියලා සනාථ කරලා තියෙනවා. එතුමා මේ ළඟදි ඇස් රෝහලට ගෙන යන්න වන සූදානම් සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශ කළාට, එපොයිමන්ට එක දැම්මට පස්සේ නොයා බැරි නිසා ඉතාමත් අමාරුවෙන් රෝද පුටුවකින් අරගෙන යනවා. එතුමට කකුල් දෙකේවත් බඩේවත් සිරුරේ කිසිම තැනක රෝගයක් නෑ. ඒක මම කැමැතියි ඕනෑම තැනක වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ගොස් ඔප්පු කිරීමට එතුමාට ලෙඩක් නෑ කියලා. කිසිම ලෙඩක් නැති වෙලාවේ ඇස් ලෙඩක්වත් තියෙනවා කියලා ඔප්පු කරන්න උත්සාහ කරන්න ඇත්තේ. ඒකත් කරන්න බැරිවුණා.